Friday, November 22, 2013

අපගේ ගාමක බලය ඇත්තේ පවත්වන සම්බන්ධතාවලයි


ශු.ලූක් 21 : 5 - 19

ජේසු සමිඳුන් අද ජෙරුසලමේ දේව මාළිගයේ යෝද බිත්ති වල අනාගතය ගැන කතා කිරීමට යොදාගත් පද හරි භයංකාරය. උන්වහන්සේ කියන්නේ ගලක් පිට ගලක් නොසිටින පරිදි ඒවා බිඳ වැටී යන බවය. මෙය උන්වහන්සේගේ තාත්තා සලමොන් රජතුමාට දුන් අනාවරණ අනුව ගොඩනැගූ උන්වහන්සේගේම වාසස්ථානයට යන කලදසාවයි. එබැවින් එය ඊශ‍්‍රායලයේ සංස්කෘතික ගර්වයට උන්වහන්සේ එල්ල කළ පහරක් ලෙස සැලකීම වැරදිය. උන්වහන්සේ කතා කරන්නේ දෙවියන් වහන්සේගේම  වාසස්ථානය එහි පවුරු පදනම් වලින් සොලවනු ලබන කාලය පැමිණෙන බවයි. ඇත්තටම උන්වහන්සේගේ ශරීර කූඩුවේම මේ කම්පනයත් දෙදරුම්දීමත් දැනටමත් උන්වහන්සේට දැනුණි. දෙවියන් වහන්සේට උන්වහන්සේගේ එකම පුතාව අහිමි වන දවස ලංවන බව දෙවියන් වහන්සේටත් දැනී තිබුණි. ජේසු සමිඳුන් අද කතා කරන්නේ මේ ගැඹුරු දෙදරුමත් ඉරිතලා යෑමත් ගැනය. එනම් තාත්තාට දැනෙන දේවල් සහ පුතාට දැනෙන දේවල් ගැනය. මේ දෙදෙනාට අභ්‍යන්තරිකව දැනෙමින් තිබෙන දේවල් ගස් ගල් කඳු පර්වත ඉර හද තරු අතර සිදුවන විපර්යාසයන්ට සම්බන්ධ කිරීමෙන් උන්වහන්සේ අපට පෙන්වන්නේ අහසේ සහ පොළොවේ ඇති හැම දෙයක්ම එකකට එකක් සම්බන්ධ බවය. මිනිස් ජීවිතය පමණක් නොව මුළු විශ්ව ජීවිතයම එකක් බවය. ඒ මුළු විශ්ව ජීවිතයම තාත්තාගේද පුතාගේද ඇඟට බලපායි. මෙය ශු. පාවුළු තුමාට දමස්කයේදී දර්ශනය වෙමින් ජේසු සමිඳුන් කී වචන වලින් පැහැදිළි වෙයි. සාවුල් කි‍්‍රස්තියානි භක්තිකයන් වෙත එල්ල කළ හැම කඩු පහරකින්ම ඒ වන විටත් උත්ථානවී ස්වර්ගාරෝහණය වී සිටි කිතු සමිඳුන්ට බලපෑවේය. මට පහර දෙන්නේ ඇයිදැයි උන්වහන්සේ ඇසූ කළ සාවුල් පුදුම වූයේ එබැවිනි. කි‍්‍රස්තු ආගමේ පරම සත්‍යය එකකට එකක් යාවුණු ජාලා බැඳීමකි. එහි යටි අඩියේම ඇත්තේ තාත්තා කෙනෙකු සහ පුතෙකු අතර ඇති මහ බැඳීමකි.


මේ කුමන කාරණා අපට තේරුම් ගැනීමට බැරි වූවද එක කාරණයක් නම් හරියටම තේරුම් ගත හැකිය. එනම් අප ජීවිතයේද යටි අඩියේම ඇත්තේ අත්නෑරෙන බැඳීමක් බවය. මේ බැඳීම ලිහුණු හැම පවුලකටම සිදුවන්නේ ජෙරුසලම් දේව මාලිගයේ බිත්ති වලට සිදුවූ දෙයය. ඒ තරමට දෙයක් සිදුවීමට වැඩි වේලාවක් ගත නොවෙයි. එහෙත් මේ බැදීමට අවදි හැමෝටම කිසි දෙයක් සිදු නොවෙයි. එහෙත් අපි වැඩියෙන්ම අතපසු කරන්නේ අපේ බැඳීම් ජීවිතයය. සමහරවිට අපේ අපිරිසිදුම කොටස අපේ සම්බන්ධකම්ය.  ඕනැම අයකු සමග එතීමට අද අපට ජංගම දුරකථනය ඇත. බොහෝ තාත්තලාගේත් අම්මලාගේත් නිර්මලකම මේ පණිවුඩ ක‍්‍රම නිසා ඍජුවම අපවිත‍්‍ර වේ. බැඳීම් අපවිත‍්‍රවීම උල්පත් අපවිත‍්‍රවීමක් වැනිය. කෙනෙකු මූලිකම වශයෙන් යහපත් සහ අයහපත් කෙනෙක් වන්නේ ඔහු/ඇය කරන කියන දේවල් වලින් නොව ඔහු/ඇය පවත්වන සම්බන්ධතා නිසාය. නරක සම්බන්ධකම් තියන අයට හොඳ වැඩ කිරීමට පුළුවන්කමක් නැත. එහෙත් හොඳ සම්බන්ධකම් තියෙන අය අතින් අතපසු වී වැරදි සිදුවිය හැකිය. ඉතාමත්ම වැදගත් වන්නේ හරි සම්බන්ධයේ පැවතීමය.

අවසාන කාලයේ සිදුවන අහසේ සහ පොළවේ පහළවන ලකුණු වලටත් වඩා ජේසු සමිඳුන් වැඩි අවධානයක් දෙන්නේ මිනිසුන් අතර ඇතිවන අවුල් වියවුල් වලට බව පාඨය හොඳින් කියවන අයට පෙනේ. ජාතියක් ජාතියකට විරුද්ධවද රාජ්‍යයක් රාජ්‍යයකට විරුද්ධවද නැඟී සිටිම භූමිකම්පා සහ අහසේ ත‍්‍රාසජනක ලකුණුවලට වඩා වැඩි සැලකිල්ලකින් උන්වහන්සේ කතා කරයි. ඊට හේතුව හැම භූ චලනයක්ම සහ කදුහෙල් කඩා වැටීමක්ම සිදුවන්නේ මිනිස් සිත කඩාවැටුණාට පසුවය. ලෝකාවසානයද සිදුවන්නේ එලෙසය. තාත්තා සහ පුතා අතර පවතින දැඩි ඒකත්වය මුළු මැවිල්ලේම ගාමක බලයයි. අපගේද ගාමක බලය ඇත්තේ අප පවත්වන සම්බන්ධතාවලයි.

දේව වචනය බෙදා ගන්නා ගරු පියතුමන්ලාගේ සාකච්චාවක් ඇසුරිණි.

www.stjosephschurchkanuwana.org
Ranjan De Mel.


No comments:

Post a Comment