Thursday, November 14, 2013

ආදරයේ උල්පතට ලංවන්නේ කවදාද ?


ශු: ලූක් 14 : 25 - 33

තම පියාටද මවටද දරුවන්ටද වඩා උන්වහන්සේට ආදරය කරන්නැයි කියන කතාව අප තේරුම් ගත්තේ වැරදියටය. උන්වහන්සේට වැඩියෙන් ආදරය කරන්නැයි කියන විට උන්වහන්සේ අදහස් කරන්නේ තම පවුල් ජීවිත කඩාකප්පල්කරගෙන උන්වහන්සේට ලංවන්නැයි කියා නොවේ. ඊට හාත්පසින්ම වෙනස් දෙයකි. එනම් උන්වහන්සේට වැඩියෙන් ලං නොවී කිසිම කෙනෙකුට තම දරු පවුලට නංවිය නොහැකි බවය. දෙවියන් වහන්සේට අන්හැම දෙයකටම වඩා ආදරය නොකරන කෙනෙකුට වෙන කිසි කෙනෙකුට හරියට ආදරය කිරීමට පුළුවන්කමක් නැත. අන් හැම කෙනෙකුටම වඩා උන්වහන්සේට ආදරය කිරීම යනුවෙන් උන්වහන්සේ අදහස් කරන්නේ ආදරයේ උල්පතට මුලින්ම හොඳින් සම්බන්ධවී සිටීමේ වැදගත්කමයි. දෙවියන් වහන්සේට ආදරය නැති මිනිසුන් කව්දැයි ඔවුන්ගේ දරු පවුල් දෙස බැලූ විට පෙනේ. දහමට මුල් තැන නොදෙන දරුවන් සමග එකට එකතු වී යාච්ඤා නොකරන පල්ලියක තම විවාහය සිදු නොකළ දරුවන්ව කි‍්‍රස්තියානි නොකළ පවුල්වලට පැවැත්මක් නැත. ඊට හේතුව ඔවුන්ට පෝෂණයක් නැතිවීමය. එවැනි පවුල් පොඩි ප‍්‍රශ්නයකට මුහුණදීමට දන්නේ නැත. එකිනෙකා ඉවසන්නේ නැත. දරුවන් ඇති තැනත් නැති තැනත් රණ්ඩු දබර වෙයි. දරවැන්ද දෙමව්පියන්ගේ වැරදි දකී. විශ්වාසනීයත්වය පිරිහේ. පවුල විසිරේ.

ස්වාමීන් වහන්සේ කියන්නේ උන්වහන්සේට ආදරය කරන අය තම බිරිඳටද දරුවන්ටද ආදරය කරන්නට දන්නා බවය. යමෙක් උන්වහන්සේට අන් හැමෝටම වඩා ආදරය කරන්නේ නම් ඔහු තම බිරිඳටද දරුවන්ටද කරන ආදරය ඒ තරමටද ඉහළ යන බව ජේසු සමිඳුන්ගේ අදහසයි.



අද බොහෝ දෙනෙකුට ආදරය කරන්නට දන්නේ නැත. අද බිරින්දෑවරුන් ගැන ස්වාමිපුරුෂයන් කියන්නේත් ස්වාමිපුරුෂයන් ගැන බිරින්දෑවරුන් කියන්නේත් එකම දෙයය. එනම් ඔහු ආදරය කිරීමට නොදන්නා බවය. ඇය ආදරය කිරීමට නොදන්නා බවය. දරවැන්ද ඒ දෙයම තම දෙමව්පියන් ගැන දවසක කියනු ඇත. මේ හැමදෙනාම කියන දේ හරිය. ආදරය කරන්නට උගන්වන ටියුෂන් පංති නැත. ඒ ටියුෂන් පංතිය ඇත්තේ පල්ලියේ දිව්‍ය සත්ප‍්‍රසාද කූඩුව ඉදිරිපිටය. අප එනතුරු ? දවල් දෙකේහි හිරකාරයෙකු මෙන් උන්වහන්සේ එහි බලා සිටිති. උන්වහන්සේ ලඟ නතර වී උන්වහන්සේගේ තුවාල දෙස බලා අප ඉවසීමද දරා ගැනීමද ඉගෙන ගත යුතුය. ආදරය කරන විධිය මතක් කරගත යුතුය. ආදරය කිරීමට ඉගෙන ගත යුතුය.

හැම කෙනෙකුටම වඩා දෙවියන් වහන්සේට ආදරය කරන කෙනා මිනිසුන්ට ඒ තරමටම ආදරය කරයි. උන්වහන්සේට වැඩියෙන් ආදරය කිරීමේ රහස එයය. බැලූ බැල්මට එය අප වරදවා තේරුම් ගනියි. තම රැ
කියාවද දරවැන්ගේ ප‍්‍රශ්නද බිරිඳගේ ප‍්‍රශ්නද නිසා බොහෝ අය කරන්නේ යාච්ඤාවෙන් ඈත්වීමය. පල්ලියෙන් ඈත්වීමය. නමුත් කළ යුත්තේ යාච්ඤා කිරීම වැඩි කිරීමය. දරු පවුලම පල්ලියට නැඹුරු කිරීමය. දෙවියන් වහන්සේ නැතිව අපට කිසිත් කළ නොහැකිය. උන්වහන්සේට ආදරය නොකර බිරිඳට ආදරය කිරීමටද කෙනෙකුට නොහැකිය. දරුවකුට හොඳ තාත්තා කෙනෙකු අම්මා කෙනෙකු විමටද නොහැකිය. ආදරය මේ ලෝකේ දෙයක් නොවේ. එය පරලෝකෙන් පැමිණි දෙයකි. අපට මුලින්ම ආදරය කළේ දෙවියන්වහන්සේය. ආදරය කිරීමට අපට හිතුනේද උන්වහන්සේ නිසාය. උන්වහන්සේ ආදරයේ උල්පතය. අපි ඒ උල්පතට ලංවිය යුතුය.


No comments:

Post a Comment