Friday, November 22, 2013

පල්ලියට ගොස් යාච්ඤා කළ යුත්තේ ඇයි?


ශු. ලූක් 18 : 9 - 14

මෙම ශුද්ධ සුවිශේෂයෙන් අපට හමුවන්නේ පල්ලියට එන දෙදෙනෙකි. එක්කෙනෙකු එන්නේ පුරුද්දටය. අනෙක් එක්කෙනා එන්නේ පල්ලියට එන්නේ ඇයි දැයි හරියටම දැන ගෙනය. එම නිසා ඔහු පල්ලියේ මහදොරකඩ සිටගෙන සිටියේය. ඇතුළට ඒමටවත් තමන් සුදුසු නැතිබව කීවේය. අතිත් ලයට ගසා ගනිමින් ලෝකයේම සිටින පව්කාරයා තමා බව සිතුවේය. ඊට හේතුව පල්ලිය ලඟට යන විට ඔහුට එහි ඇතුලේ සිටින පරිශුද්ධයාණන්ගේ වැඩ සිටීම දැනුණි. පල්ලියේත් කඩමංඩියේත් වෙනස එක සැනින් ඔහුට දැනුණි.

 එහෙත් අනෙක් එක්කෙනාට මේ කිසිත් දැනුණේ නැත. ඔහු පල්ලියට ගියේ කඩසාප්පුවකට යන ලෙසය. ඔහු ඇතුළටම ගොස් හිඳ ගත්තේය. වරින් වර පස්ස හැරී දොරකඩ සිටගෙන හිඳින කෙනා දෙස හොරෙන් බැලූවේය. දෙවියන් වහන්සේ සමඟ මුදලාලි කෙනෙක් සමග ගණන් හිලව් කතා කරන පාරිභෝගිකයෙකු ලෙස කතා කරන්න පටන් ගත්තේය. තමන්ටද ඇති සුදුසුකම් ගැන සාකච්ඡුා කළේය. උදාහරණයට පල්ලියෙන් පිට සිටගෙන හිඳින කෙනාව මතක් කළේය. තමන්ගේ හොරණෑව පිම්බේය. ඔහු පල්ලියෙන් නැගිට ගෙදර ගියේ පුරුද්දට පල්ලි ආ අප බොහෝ දෙනෙක් ගෙදර යන විධියටය. ජේසු සමිඳුන් පරිසිවරයා ගැන කියනෙ ද් අද පල්ලි එන අපට හරි අදාලය.


අපේ පල්ලිවලට අප ඇතුල්වන විධියෙන්ම අප පල්ලියට එන්නේ අයි දැයි නොතේරුම් ගත් බවක් පෙනේ. අපේ පල්ලිවලට එන අය ඇඳ සිටින ඇඳුම් ආයිත්තං වලිනුත් පල්ලියේ ඇතුලට ඇවිත් එහි හැසිරෙන විදියෙනුත් මේ බව හොඳට පෙනේ. අපේ පල්ලි අද කඩසාප්පු මට්ටමට වැටෙමින් තිබේ. පල්ලි පිටිය කානිවල් පොලවල් බවට පත්වෙමින් තිබේ. එවැනි සැණකෙලිවලට පල්ලියේ නාම සාන්තුවරයාගේ නම සම්බන්ධ කර ගැනීමෙන් වැළකෙන ලෙස අගරදගුරු තුමාට මෑතකදී විශේෂ ප‍්‍රකාශයක් නිකුත් කරන්නට සිදුවිය. 

කතෝලික පල්ලියේ අනන්‍යතාවය පිරිහීටම වගකිව යුතු පළමුවැන්නා දේව ජනතාවය. අපේ භක්තිය ඉස්මතු වි යුතු තැන්වල අප ඉස්මතුවීමට යෑමෙන් ප‍්‍රශ්නය පටන් ගනී. අල්තාරයට නඟින අපේ සහෝදර සහෝදරියන් දෙවියන් වහන්සේගේ පරිශුද්ධ ස්ථානයකට පය තබන බවට වඩා සිතන්නේ ඔවුන්ගේ සැඟවුණු කුසලතා එළිදක්වන වේදිකාවකට නඟින බවය. අඳින පලඳින ඇවිදින දණ නමන විධියේ ඇත්තේ අර පරිසිවරයාගේ ලීලාවය. තමාවම පාරට්ටු කර ගැනීමට අප අඳින ගතියය. පල්ලිය අපේ පැවැත්මට බලපාන තැනක් කර ගැනීමට අපට කවදා හැකිවේද?

මෙය සමහර විට කිසිදා පල්ලියට පය නොතබන අය හේතුව ලෙස ඉදිරිපත් කරන දෙයකි. ඒ අය අකැමියාගේන් ඉගෙන ගත යුතුය. අයකැමියා කරන දෙය ඔහුට ගෙදර හිඳගෙන කරන්නට තිබුණි. එහෙත් ඔහු පල්ලියට ආවේය. අද බොහෝ අය සිතන්නේ දෙවියන් වහන්සේව මුණගැසීමට පල්ලියට ඒම අත්‍යවශ්‍ය නොවන බවය. දෙවියන් වහන්සේ හැම තැනම සිටනි බව ඇත්තකි. එහෙත් ඒ හැම තැනම ගැවසෙන්නට අපට විවේකයක් නැත. උදේ සිට ? වන තුරු දුක් මහන්සියෙන් වැඩ කරන අපට දෙවියන් වහන්සේට සවන් දීමට ටිකක් නිව්හැනහිල්ලේ ඉඳගෙන සිටීමට වෙලාවක් නොලැබෙයි. එය පල්ලියක නිශ්ශබ්දව හඳගෙන ටිකක් වේලා සිටින විට ඒනෑම කෙනෙකුට දැනෙයි.

 අයකැමියා පල්ලියට ආවේ දොරකඩ සිටගෙන සිට ගෙදර යෑමට නොවෙයි. එහෙත් පල්ලියට ලංවෙත්ම ඔහුට ඒ සංහිඳියාව දැනුණි. ඔහුගේ හදවත කතා කරන්නට පටන් ගත්තේ ඒ දැඩි නිහැඩියාව නිසාය. පල්ලිය අපේ හිත කතා කරන්නට පටන් ගන්නා තැනය. එතැනට අප සතියකට එක දවසක්වත් යා යුතුය. ගෙදර හෝ වෙන තැන සිටීමෙන් අපට එය නොලැබේ.

දේව වචනය බෙදා ගන්නා ගරු පියතුමන්ලාගේ සාකච්ඡුාව ඇසුරිණි.

www.stjosephschurchkanuwana.org
Ranjan De Mel



No comments:

Post a Comment