ශු: ලූක් 18 :1 - 8
වැන්දඹුවට සාධාරණය ඉටුකර දීමට මේ දුෂ්ට විනිශ්චයකාරයා තීරණය කරන හේතුව දැන් අපි දනිමු. එහෙත් එය අපේ යාච්ඤාවලට උත්තර දෙන දෙවියන් වහන්සේට උපමා කිරීම වැරදිය. දෙවියන් වහන්සේට කරදර කිරීමට අපට බැරිය. දෙවියන් වහන්සේ අපේ කරදරයෙන් බේරීමට අපේ ඉල්ලීම් ඉටුකරන කෙනෙක්ද නොවෙයි. මෙහිදී ජේසු සමිඳුන් අවධාරණය කරනනේ යාච්ඤාවේ ඇති අවශ්‍යතාවයය. ඒ තරමට යාච්ඤාව නැතිවම බැරිය. මොනම විධියකින්වත් එය අතපසු නොකළ යුතු බව උන්වහන්සේගේ මතයයි. මෙය තේරුම් ගැනීමට ශුද්ධෝත්තම ප‍්‍රැන්සිස් පාප්තුමා පත්වූ දිනවලදීම අපට කී දෙයක් අපට උපකාර වෙයි.
උන්වහන්සේ කීවේ අපි දෙවියන් වහන්සේට යාච්ඤා නොකරන්නෙමු නම් ඉන් අදහස් වන්නේ සාතන්ට යාච්ඤා කරන බවය. එනම් යාච්ඤා යනු දේව සම්බන්ධතාවයේ පැවතීමයි. එම සම්බන්ධය රැක නොගතහොත් ඉබේටම අප අන්ධකාරය සමග සම්බන්ධයකට ඇතුළු වෙයි. මෙහිදී පැහැදිලි වන්නේ අපේ ඇසට නොපෙනෙන අන්ධකාරයක් නිතරම අප වටා කැරකෙන බවය. ඉන් මිදීමට නම් දෙවියන් වහන්සේ ලඟ වැඩි වැඩියෙන් ගැවසිය යුතු බවය. යාච්ඤාව යනු දෙවියන් වහන්සේ ලඟ දැවටීමය. එය මඟහැරෙන හැම මෙහොතකම අපි අන්ධකාරයට හසුවෙමු. එහි ගිලෙමු. අහසට නැඟි සරුංගලය ගුවනේ පාවන්නේ ගොඩබිමේ සිට එය හසුරුවන කෙනෙක් සිටින නිසාය. ඔහුත් සරුංගලයත් අතර ඇති සම්බන්ධය සිහින් නූල් පොටකි. එහෙත් ඒ නූල් පොට කාටවත් නොපෙනේ. එය කැඩුණු වහාම සරුංගලයට පැවතිය නොහැකිය. එය කඩාගෙන වැටෙයි.
යාච්ඤාව ස්වර්ගය සහ මහ පොළොව එකට යා කරන එකම විධියයි. එය බිඳුණු විට අප තනිවේ. අපේ පිහිට අපට අහිමි වේ. එවිට අප ඕනෑම බලවේගයකට හසු වී විනාශ වී යා හැකිය. යාච්ඤා කිරීම ගැන මෙතරම් අවධාරණයෙන් ජේසු සමිඳුන් කතා කරන්නේ මේ නිසාය. යාච්ඤා කිරීම හුදෙක් ඉල්ලීම් ඉදිරිපත් කිරිමක් ලෙස සලකන අපට මෙහි ගැඹුරු අරුථ නොතේරේ. යාච්ඤාවේ ඉල්ලීම් තිබීම වැරදි නැත. ඉල්ලීම් වලද ඇත්තේ අපේ අඟහිඟකම්ය. එබැවින් අපේ නැතිබැරිකම් සහ අගහිඟකම් යාච්ඤාවේ තිබීම හොඳය. ඇත්තටම යාච්ඤාවේ තේරුම උන්වහන්සේගේ සම්බන්ධකම වැඩි වැඩියෙන් ඉල්ලීමය.
එබැවින් යාච්ඤාව ඉල්ලීමක් ලෙස දැකීම හරිය. එහෙත් බොහෝ විට අප දෙවියන් වහන්සේව ඉල්ලන්නේ නැත. ශුද්ධාත්මයාණන්ව ඉල්ලන්නේ නැත. වෙන වෙන දේවල් ඕනෑතරම් ඉල්ලමු. උන්වහන්සේ අද අපට ඉල්ලන්නැයි කියන්නේ උන්වහන්සේවය. යාච්ඤා කරන හැම මොහොතකම අපි උන්වහන්සේට යා වෙමු. උන්වහන්සේගේ අතට අපව හසුවෙයි. වෙන කිසිදු අඳුරු බලවේගයකට අප මත කි‍්‍රයා කිරීමට බැර වෙයි. අපව විශේෂ දේව අනුග‍්‍රහයකින් මෙහෙය වේ. අකාරුණික විනිශ්චයකාරයෙකුගෙන් කරුණාවත් යුක්තියත් ප‍්‍රාර්ථනා කරන වැන්දඹුවක සේ අපට සර්වසාධාරණ විනිශ්චය කරුවාණන් වන උන්වහන්සේ වෙත එන්නැයි අද උන්වහන්සේ අපට කියති.වැන්දඹුව නොනවත්වා මේ විනිශ්චයකරුවාගේ ගෙදරට යන්නේ ඇය නිහතමානී කෙනෙකුටත් වඩා අසරණ කෙනෙකු වූ නිසාය. දෙවියන් වහන්සේ ලඟට වූවද අපට යන්නට සිතෙන්නේ අපට අකරතැබ්බක් වූ විටය. අසරණ දුප්පත් මිනිසුන් නොවීම අප ආඩම්බර මිනිසුන් වීමට බලපෑ ලොකු හේතුවකි. දුප්පත් අසරණකමත් මහ වාසනාවක් යැයි වරෙක හිතෙන්නේ මේ නිසාය.
දේව වචනය බෙදා ගන්නා ගරු පියතුමන්ලාගේ සාකච්චාවක් ඇසුරිණි.
www.stjosephschurchkanuwana.org
Ranjan De Mel
No comments:
Post a Comment