Tuesday, November 19, 2013

කෙළෙහිගුණ නැතිකමේ භයානක ආනිසංස


ලූක් 17 : 11 - 19

වෙන වැදගත් ගමනක් යමින් සිටින ජේසු සමිඳුන්ට මගඳී කැලයක සිට එළියට ඇවිත් තමන්ට දුරින් සිටි බැගෑපත් ආයාචනයක් කරන ලාදුරු රෝගීන් දසදෙනෙකු ගැන අද සුවිශේෂයෙන් අපට ඇසේ. 

බැලූ බැල්මට අපට පෙනෙන්නේ බෝවන භයානක රෝගයක් නිසා ඈතින් සිට තමන් වහන්සේ සමග කතා කරන මේ ලාදුරු රෝගීන් දස දෙනාට ජේසු සමිඳුන් ද එතරම් ලං නොවී දුර තියාම ඔවුන්ව පවිත‍්‍ර වූ බව සහතික කරන පූජකවරුන් අභිමුවට යන්නැයි කියා උන්වහන්සේද හනි හනිකට එතැනින් මාරු වී ගිය බවකි. එහෙත් සිදු වී ඇතතේ ඊට වඩා වෙනස් දෙයක් බව අපට දැනෙන්නේ සුව වූ එක ලාදුරු රෝගියෙකු හැරී අවුත් උන්වහන්සේට ස්තූති කරන විටදීය. තමන්ට ස්තූති කරන්නට වහා හැරී ආ මේ සුව වූ රෝගියාගේ මුහුණ දුටු විගසම ඔහුව උන්වහන්සේ හඳුනා ගත්හ. ඔහුගේ ජාතිය සහ ආගමද උන්වහන්සේ දැන සිටියහ. ඔහු එතැන සිටි එකම අන්‍යාගමිකයා බවත් ඔහු සමාරිය ජාතිකයෙකු බවත් ජේසු සමිඳුන් දැන සිටියේය. 

තවද උන්වහන්සේට ඔවුන්ව හමුවන විට හරියටම එතැන දස දෙනෙකු සිටිය බවත් තමන්වහන්සේ වෙත හැරී ආවේ නැති තව නව දෙනෙක් ඇති බවත් උන්වහන්සේට මතක තිබුණි. මේ මතකයෙන් පෙනෙන්නේ ලාදුරු රෝගයෙන් අවලක්ෂණ වී තිබුණු ඔවුන්ගේ මුහුණ දෙස උන්වහන්සේ කිසි අප‍්‍රසන්නතාවයකින් තොරව බැලූ බවය. ඔවුන් ලඟට ගොස් ඔවුන්ගේ වත ගොත විමසුව බවය. ඔවුන් සමග ආදරයෙන් කතා බහ කළ බවය. වෙන වැඩකට යන අතරතුර තමන්ට හමුවුණු මේ අවාසනාවන්ත මනුෂ්‍යයන් සමග කාලය ගත කිරීමට කැමති වූ බවය. තවද මේ අසාමාන්‍ය කරුණාවෙන් මේ සමාරිය රෝගියාගේ හිත උන්වහන්සේ වෙත ඇඳී ගියේය. ඔහු සුව වූ බව පළමුවෙන්ම උන්වහනසේට කියන්නට දුව ගෙන එනනේ මේ නිසාය. එබැවින් ඔහුගේ හැරී ඒමෙන් ඔහුගේ හොඳකමටත් වඩා අපට පැහැදිළි වන්නේ ජේසු සමිඳුන්ගේ හොඳකමය. 

එහෙත් කෙනෙකු කෙතරම් හොඳ කෙනෙකු වූවත් ඔහුට හොඳ කියන අය සිටින්නේ හරි කලාතුරකිනි. අද උන්වහන්සේට හමුවන්නේ ඒ දුර්ලභ කෙළෙහිගුණ ඇති මිනිසාවය. ඔහු ගැන උන්වහන්සේට එතරම් සතුටක් ඇති වන්නේ එබැවිනි. ‘දස දෙනෙකු සුව වූවා නොවේද? අනෙක් නව දෙනා කොහේද?’ යැයි උන්වහන්සේට ඉබේටම කියවෙති. එය උන්වහන්සේ අනෙක් නව දෙනා ගැන කරන විනිශ්චයක් නොවෙති. හිතේ සතුටට ඉබේටම කියවෙන දෙයකි. තමන් වහන්සේව සොයා ගෙන ආපසු හැරී එන මේ මනුෂ්‍යයාට ඇති වී ඇති සතුටෙන් උන්වහන්සේ තමන්ට මුණ ගැසෙන මිනිසුන්ට සලකන විධිය හරියටම හරි බව දැනගත්තේය.

තමන් කළ හොඳ දෙයක් ගැන තමන්ටම වෙන කෙනෙකුගෙන් අසන්නට ලැබෙන විට හැම මනුෂ්‍යයෙකුටම ජේසු සමිඳුන්ට දැනුණු දේ දැනෙයි. හොඳ මිනිසුන්ට තමන් කරන දේ හරිදැයි හරියටම දැන ගැනීමට වෙන විධියක් නැත. එබැවින් කෙළෙහිගුණ නැති මිනිසුන් සමග වැඩ කිරීමෙන් අපට වැඩියෙන්ම අමාරු වන්නේ අප කරන දේ හරියටම හරි දැයි දැන ගැනීමටය.

අද අපට මේ ලාදුරු රෝගීන් දස දෙනාගේ සිද්ධියෙන් බොහෝ දේ හිතට වදී. පළමුවැන්න නම් ජේසු සමිඳුන් ඔවුන්ට සලකන විධිය ය. දෙවැන්න නම් සුව වූ ලාදුරු රෝගීන් උන්වහන්සේට සලකන විධියය. මේ දෙකම අපට හරි වටී. කෙනෙකු තුළ කෙළෙහිගුණ ඇති වන්නේ කළ දේවල් වලටත් වඩා ඒවා කළ විධිය මතක් වන විටදීය. සමහරවිට අප බොහේ හොඳ දේවල් කරන්නේ ඒ හොඳ ලබන අයට කිසි ලඟ බවක් නෙපෙන්වාය. එසේ කරන වැඩ මතක් වන විට යළිත් අපට ඔවුන් ලඟට දුවගෙන යෑමට ආශාවක් හිතට නොඑයි. එසේම අපට ලංවී දයාබරකමින් අපට සලකන අයවත් කොහෙත්ම නොතකන ගතියක් සමහර විට අපට තිබේ. එබදු හැසිරීමකින් සිදුවන්නේ හොඳ කරන හොඳ මිනිසුන්ට හොඳ කරන එක එපාවීමය. කෙළෙහිගුණ නැතිකමේ භයනාකම ආනිශංසය එයය.

දේව වචනය බෙදා ගන්නා ගරු පියතුමන්ලාගේ සාකච්ඡාව ඇසුරිණි.

www.stjosephschurchkanuwana.org
Ranjan De Mel


No comments:

Post a Comment