ශු.ලූක් 23 : 35 - 43 (සාමාන්‍ය සමයේ 34 ඉරුදින - නොවැම්බර් 24)
රජකම් ඇත්තේ රජකමේ නොව රජකම් කරන විධියේය. අද අපට ශු. සුවිශේෂයෙන් හමුවන්නේ අපරාධකාරයෙකු ලෙස මැරුණු රජ කෙනෙක්වය. ඔහු මියයන විට හැමෝම ඔහුට වද දුන්හ. වචනයෙන් පවා පීඩා කළහ. ගැරහීම් කළහ. මේ සරදම් සහ ඉවරයක් නැති කෙනහිලිකම් මැදින් ඔහු ඔහුගේ රජකම් කරන විධි වෙනස් කළේ නැත. අවසානයේදී මියැදෙන්නට මොහොතකට කලින් ඔහුගේ රාජකීය බවක් ඇති බව ඔහු සමගම දුක් විදිමින් සිටි තවත් කෙනෙක් දැක ගත්තේය. ‘‘ඔබ රජවී වඩිනා විට මාද සිහිකළ මැනව’’යි ඔහු කීය. ‘‘අද ඔබ මා සමග පාරාදීසයේ සිටින්නේ’’ යැයි ඔහු පෙරළා උත්තර දුනි.
මේ ලෝකයේ රජකරන බොහෝ අය මිය යන්නේ විශ‍්‍රාමලත් මැති ඇමතිවරුන් සහ ජනාධිපතිවරුන් ලෙසය. එබැවින් ඔවුන් කව්රුත් අන්තිමේදී මිය යන්නේ සාමාන්‍ය විශ‍්‍රාමික ආච්චිලා සීයලා විධියටය. එබැවින් ඔවුන් රජවරුන් ලෙස මිය යන්නේ නැත. එහෙත් රජකම් කරන කාලයේ කළ දේවල් වලට වන්දි ගෙවමින් මැරෙන්නට සිදුවන බවත් මේ ලෝකයේ දී නැතත් මතු ලෝකයේදී හෝ කළකම් පල දෙන බවත් සැබෑය. එහෙත් ජේසු රජාණන්ට මැරෙන්නට සිදුවූයේ රජකම් කරන ගමන්මය. එබැවින් උන්වහන්සේට මැරෙන තුරුම රජකම් කිරීමට හැකි විය. එබැවින් උන්වහන්සේගේ රජකම හරියටම අපට වැටහුණි. එය මේ ලෝකයේ රජකමක් නොවන බව අප දැනගත්තේ උන්වහන්සේ මේ ලොකෙන් ඉකුත් වී යන නිමේෂයේදීය. උකුත් වන්නට මොහොතකට පෙර ඒ රජකම එළිවිය. එය අප දැන ගත්තේ ඒ මොහොතේ උන්වහන්සේට ළගින්ම ඇණගසා සිටි දකුණේ සොරාගේ වචන වලිනි. ඔහු ජේසු සමිඳුන්ගේ අවසාන හුස්ම පිටවන මොහොත දුටු කෙනාය. ඊට උන්වහන්සේ සැරසෙන හැටිද උවමනාවෙන් බැලූ කෙනාය. මේ ලෝකයත් පරලෝකයත් අතර සිටින අවස්ථාවේදී මේ දිව්‍ය රජකම ගැන උන්වහන්සේගේ සාක්ෂිය මේ සොරාට පැහැදිළි විය. එය කුරුසය පාමුල සිටි වෙන කාටවත් පැහැදිළි වූයේ නැත. ඔවුන් බිම සිට උන්වහන්සේ රජෙක්දැයි සමච්චලයට ප‍්‍රශ්න කළහ. මේ ලෝකයේ මිම්මෙන් උන්වහන්සේ කිසිසේත්ම රජ කෙනෙකු නොවන බව කුරුස පාමුල සිටි කාටත් වැටහී තිබුණි. එහෙත් කුරුස ගස උඩ සිටි සොරෙකුට එය වැටහුණි. ඊට හේතුව ඔහුද මැරෙන්නට සූදානමින් සිටි කෙනක් වීමය. ජීවත්වන්නට හිතාගෙන සිටින අයට වඩා මැරෙන්නට යන කෙනෙකුට මේ පාරාදීසයේ සිතිජය පෙනෙයි. ජිවිතයෙන් ඔබ්බට ඇති තව ජීවිතයක සේයාව පෙනෙන්නේ මැරෙන්න සිටින මිනිසුන්ටය.
ජේසු සමිඳුන් මිය යන විට අති කලාතුරකින් උදාවන ඉරණමක් මුලූමනින්ම වෙනස් ජීවිත දෙකක් ගත කළ දෙදෙනෙකුට එකවර උදාවිය. පව්කාර ජීවිතයක් ගත කළ ප‍්‍රසිද්ද සොරෙකු වන ඔහුට මුලූ ජීවිතයම පව් කිලිටෙන් තොරව ගෙවූ සාන්තුවර මනුෂ්‍යයෙකු සමග එකට මැරෙන්නට ලැබුණි. එහිදී ඔහු උන්වහන්සේ යන්නට යන තැනනත් තමන්ට යන්නට නියම වී ඇති තැනත් මරණ මංචකයේදී දැක ඔබ රජවී එන විට මාවද සිහිකළ මැනවයි ඉබේටම වියරුවෙන් කියවිණි. පාරාදීසයේ දොරටුව අභියසට තමා සමග පැමිණ ඇති මේ පව්කරුවාට අදම තම රාජ්‍යයට ඇතුළු කර ගැනීමට උන්වහන්සේ එවෙලෙහිම තීරණ්‍ය කළහ. උන්වහන්සේට සැබවින්ම බලය තිබෙන කෙනෙකු බව සොරාට එකෙණෙහිම වැටහුණේ උන්වහන්සේගේ මේ හදිසි තීරණය නිසාය. මේ ලෝකේ රජකම් පාන අයට තමන් කෙතරම් ලොකු කෙරුම්කාරයන්දැයි විශ‍්‍රාම ගියදාම වැටහෙයි. මැරෙන විට ඔවුන්ට එය ඊට වඩා කොපමණ තේරෙනවා ඇද්ද? ජේසු සමිඳුන් අපාරාධකාරයෙකු ලෙස මැරෙන විට උන්වහ්නසේ රජ කෙනෙකු බව පව්කාර හොරෙකුටත් තේරුණි. එසේනම් උන්වහන්සේගේ රජකම මොනතරම් ලොකු රජකමක් විය යුතුද? රජකම ඇත්තේ රජකමේ නොව රජකම් කරන විධියේය. ජේසු රජාණන් අපට උගැන්වූයේ රජකම් කරන විධියය.
ගරු රවින් සදසිරි පියතුමා ඈතුලු දේව වචනය බෙදා ගන්නා ගරු පියතුමන්ලාගේ සාකච්චාවක් ඇසුරිණි.
Published by:
Ranjan De Mel.
Please visit....
www.stjosephschurchkanuwana.org
www.bhakthiprabodhanaya.org
No comments:
Post a Comment