Tuesday, November 19, 2013

අවබෝධ කරගන්නට බැරි අපේ ජීවිත සුලමුල.



ලූක් 16 : 19 - 31 (ධනවතා සහ ලාසරස්ගේ උපමාව) - Luke 16: 19-31

ධනවතා සහ ලාසරස්ගේ උපමාව ජේසු සමිඳුන්ගේ ස්වතන්ත‍්‍ර නිර්මාණයක් නොවේ. එය ජුදා ජනප‍්‍රවාදයේ තිබුණි. එය උන්වහන්සේගේ මුවින්ම කියවීමෙන් එම කතාවට අලූත් අධිකාරී බලයක් ලැබුණ. කතා වස්තුවේ වැදගත්ම කොටස මරණින් මතු සිදුවන දෙයයි. එය කව්රුත් කතාන්තරයක ලීලාවෙන් ඉදිරිපත් කර තිබුණද එය දේව ධර්මයක් බවට පත්වූයේ ජේසු සමිඳුන් එය කී නිසාය.

සඟ ලොවේ සිටින ආබ‍්‍රහම්ගේ තුරුලද නරකාදියේ නොනිමෙන ගින්දරද ගැන ජේසු සමිඳුන් අද කතා කරයි. අද මිනිසුන්ට ස්වර්ගයද නරකාදියද ගැන තිබෙන උනන්දුව හරි අඩුය. බොහෝ දෙනෙක් සිතන්නේ නරකාදියේ ගින්දර පාප්වහන්සේ බැතිමතුන්ව බය කිරිමට මයිකල් ආන්ජලෝට බිත්තියේ අදින්න කී දෙයක් කියාය. නිරාගින්න ගැන ජේසු සමිඳුන් කිහිපවතාවක්ම පැහැදිලිව කතා කළේය. දේවමෑණියෝ පාතිමාවේ දරුවන්ට දර්ශනය වී නිරාගින්න පෙන්වූ බව ඔප්පු වේ. එබැවින් ස්වර්ගයද අපායද යන දෙකම ඇත්තකි. මෙහිදී පැහැදිලි වන්නේ අපේ මොලොව ජීවිතය මරණින්ම නිමා නොවන එකක් බවයි. ජේසු සමිඳුන්ගේ උත්ථානයෙන් මෙය අපට ඔප්පු වේ. උත්ථානවූ ජේසු සමිඳුන් අද අපට මේ උපමාව කියන නිසා එදා මෙය අසා සිටි අයටත් වඩා අද අපට මේ උපමාව බලපෑ යුතුය.



ස්වර්ගයද පොළොවද පාතාලයද පසුකර ගෙන ගිය එකම එක්කෙනා උන්වහන්සේය. උන්වහන්සේ අද අපට කියන මේ උපමාව උන්වහන්සේගේ අත්දැකීමෙන් කියන දෙයකි. ඊට අපි කොයිතරම් වටිනාකමක් දිය යුතුද? ධනවතාද ලාසරස්ද යනු අපමය. වරෙක අප පොහොසත්ය. තවත් වරෙක අප දුප්පත්ය. හැම කෙනෙකුටම කිසියම් දුක්බර අතීතයක් තිබේ. අඟහිඟකම් පිරි කාල උදාවෙයි. බඩගින්නේ සිටි දවසක් තිබෙයි. ඉකි බිඳ හැඬූ දවසක් තිබෙයි. මොලොව ජීවිතය එවැනිය. වඩා වැදගත් වන්නේ අපේ මුල අමතක නොකිරීමයි. අපේ මුල තිබෙන්නේ මේ ලෝකේ නොවේ. මේ අපමාවෙන් උන්වහන්සේ උත්සාහ කරන්නේ එය අපට පැහැදිලි කර දීමටය. එය උන්වහන්සේ විස්තර ඇතිව අද අපට අවබෝධ කර දෙයි.


කෙතරම් අවබෝධ කිරීමට උත්සාහ කළද අපට අවබෝධ නොවන එක දෙයක් නම් අපේ ජීවිතයේ සුලමුලය. ජීවිතයේ ඉතා කෙටි කාලයක් මේ ලෝකේ ගෙවේ. වැඩ කාලයක් මොලවින් එපිට ගෙවේ. මෙලෝ ජීවිතය එතරම් තේරුමක් නැති එකක් බව අප හැමෝටම සිතේ. එය තේරුමක් ඇති එකක් බව අපට සිතන්නේ එය අප සිතනවාට වඩා ඈතට යන ජීවිතයක් වන නිසාය. ජීවිතය කොතරම් දුර දැයි පෙන්වීමට දෙවියන් වහන්සේම මිනිසා වී අප අතරට ආ සේක. දුක් විඳ මැරී පාතාලයට ගොස් උත්ථාන වී අප වෙත යළිත් පැමිණි සේක. උන්වහන්සේ තුළ හැම උපමාවක්ම ඇත්තක් වීය. හැම වචනයක්ම සැබෑවක් වීය. එහෙත් අප ඒ වචන වැඩිය හිතට නොගන්නේ ඇයි?


දේව වචනය බෙදා ගන්නා ගරු පියතුමන්ලාගේ සාකච්ඡාව ඇසුරිණි.



No comments:

Post a Comment