Tuesday, September 9, 2014

ඔයාට මොනවා වුණත් මට මොකද ?

( සාමාන්‍ය සමයේ 23 ඉරුදින සැප්තැම්බර් 07, මතෙව් 18:15-20 )

අද ශු. සුවිශේෂය ඉදිරිපත් කරන්නේ තමන් අඳුනන කෙනෙකුගේ වැරැද්දක් නිවැරදි කරන විට අනුගමනය කළ යුතු කි‍්‍රයා පටිපාටිය පිළිබඳ සම්පූර්ණ විස්තර විභාගයක් බව අපට බැලූ බැල්මට සිතෙයි. එහෙත් උන්වහන්සේ මින් අවධාරණය කරන්නට උත්සාහ කරන්නේ ඊටත් වඩා ගැඹුරු දෙයකි.

හැම කෙනාම හිතන්නේ තමා නිවැරදි කර ගන්නා විධිය ගැනය. උන්වහන්සේ කියන්නේ තමා පමණක් නොව තමා දැන හඳුනන හැම කෙනාවම නිවැරදි කිරීමේ භාරධූර වගකීම ගැනය. එනම් තමන්ගේ ප‍්‍රශ්න පමණක් නොව අනුන්ගේ ප‍්‍රශ්නද තමන්ගේ ප‍්‍රශ්න බවය. ඒ ඇයි?



අනිත් අය යනු අපම බව අපට වඩා හොඳින් දන්නේ උන්වහන්සේය. ඊට හේතුව උන්වහන්සේගේ තාත්තාය. තාත්තා පුතාට කීවේ අපේ තාත්තලා කවදාවත් දරුවකුට නොකියන දෙයකි. එනම් ‘පුතේ අනිත් අයගේ පව්වලට ඔයා කරගහනවද?’ කියාය. ජේසු සමිඳුන් කියන්නේ එවැනි තාත්තා කෙනෙකුගේ කීමට මෙහෙට ආ කෙනෙකි. අනිත් කෙනා තමාගේම කෙනක් යැයි හිතන්නේ නැතිව තාත්තා දුන් වැඩය කිරීමටද උන්වහන්සේට පුළුවන්කම තිබුණි. එහෙත් එසේ කළා නම් එය තාත්තා කී පලියට කරන්නම් වාලේ කරන ලද දෙයක් මිස ඉත සිතින් කළ දෙයක් නොවන්නට තිබුණු බව පැහැදිළිය. ජේසු සමිඳුන් කිසිම දෙයක් කරන්නම් වාලේ කළේ නැත. උන්වහන්සේ සැමවිටම තමන් කරන දේ කරන්නේ ඇයිදැයි හරියටම දැනගෙන එය කළ කෙනෙකි. කරන දේ කරන්නම් වාලේ කරන්නේ අපය. ඒ නිසා අපේ කෙරුවාවේ තරම අපි දනිමු. කරන්නේ ඇයි දැයි කල්පනා නොකර කරන දේවල් කරන්නම් වාලේ අප කරන්නේ ඇයි? 



අද උන්වහන්සේ කතා කරන්නේ ඇයි කියන ප‍්‍රශ්නය ගැනය. අප අනිත් කෙනෙකුව නිවැරදි කරන්නේ ඇයි? මුලින්ම වැරැද්ද කරන කෙනාව පෞද්ගලිකව හමුවන්නේ ඇයි? අසාර්ථක වුවහොත් තව දෙදෙනෙකු කැටුව යන්නේ ඇයි? එයත් අසාර්ථක වුවහොත් සභාවට දැනුම් දෙන්නේ ඇයි? එම පියවරත් අසාර්ථක වුවහොත් පමණක් ඔහුව කොන් කරන්නට කියන්නේ ඇයි? මේ හැම පියවරකටම හේතුව අනිත් කෙනා පිට කෙනෙක් නොව තමන්ගේම කෙනෙක් වන නිසාය. අපේම කෙනෙකුට අපි අපට මෙන් සලකමු. පිට අයට වෙනස්කම් කරමු.



උන්වහන්සේට අනුව ඇත්තේ එකම එක මිනිස් පවුලකි. ඒ පවුලට ඇත්තේ එක තාත්තා කෙනෙකි. තාත්තාට හැම මනුෂ්‍යයාම පුතෙකි. දුවකි. උන්වහන්සේගේ එකම පුතාව අපේ බිලිපඬුර වීමට මෙහි එව්වේ උන්වහන්සේගේ පුතාට තරම්ම අපටද අපේ තාත්තා ආදරේ බව ඔප්පු කිරිමටය. අප ගැන අපේ තාත්තාට ඇති රුදාව අපට අපේ ලඟ සිටින අනිත් අය ගැන නැත්තේ ඇයි? ‘මේ, අනිත් අයව හදන්ඩ අපට බෑ. තමා විතරක් හැඳුනහම ඇති. තමන්ගේ පාඩුවේ ඉන්න එක තමයි හොඳ. අනිත් අයගෙන් වැඩක් නෑනේ අපිට. එයාලට මොනවා වුණත් මට මොකද?’ අද හිතන විදිය අද ජේසු සමිඳුන් හිතන විදියට කොයි තරම් පටහැනිද? නේද?

ඔබ කැමති ජේසු සමිඳුගේ සුවිශේෂයටද? මිනිස්සුන්ගේ සුවිශේෂයටද? 

දේව වචනය බෙදා ගන්නා ගරු පියතුමන්ලාගේ සාකච්ඡාව ඇසුරිණි.

Tuesday, April 15, 2014

සමිඳාණන් සමග රැඳි සිටිමින්, සාතන් පරදන්න !


ගොබ් ඉරිදා - අප්‍රේල් 13, මතෙව් 26:14-27

ඔබ අතරෙන් කෙනෙක් අද මා පාවා දෙන්නෙහි යැයි ජේසු සමිඳුන් කියනවිට අප කාගේත් හිතට එන්නේ ජුදස්වය. නමුත් කෑම මේසයේදි මුලින්ම එය උන්වහන්සේ කියන විට කාටවත් ජුදස්ව හිතට ආවේ නැත.
ඔවුන්ගේ හිතට ආවේ ‘ඒ මමද ඒ මමද’ කියා පමණකි.



 එය ඔවුන්ට බලපෑවේ වෙන කාගේවත් නොව තමන්ගේම පෞද්ගලික ප්‍රශ්නයක් ලෙසය. ඒ තරමට දුර්වලකම කාටවුවද දැනී තිබුනි. ඊ ලඟට දුර්වලයා වන්නේ තමා දැයි හැමෝටම බය සිතුනි ඒ හැන්දෑවේ ජුදස් වීමට කාට වුවද පුළුවන්කම තිබුනි. එහෙත් ජුදස් වීමට කව්රුත් කැමැත්තෙන් සිටියේ නැත. අවසානයේදි ජුදාස් වූයේ ඔවුන් හීනෙන්වත් නොසිතූ කෙනෙකි. එ ජේසු සමිදුන් දුන් හෝඩුවා ඔවුන්ට නොතේරුණේ එබැවිනි. ජුදස්ට ජුදස් නොවී සිටීමට  ඕනෑ තරම් ඉඩ තිබුණි. නායක පූජකයන් සමග කර තිබු ඔහුගේ කුමන්ත්‍රණයටත් වඩා ජුදස්ගේ වැටීමට හේතුව රාත්‍රි භෝජන මේසයෙන් නැගිට යෑමය. ජුදස්ට කෑම මේසයෙන් නැගිටින්නේ නැතිව ඉන්නට තිබුණි. ඔහු තව ටිකක් වේලා එහි සිටියා නම් ජේසු සමිඳුන්ගේ එක වචනයකින් ඔහු තුළ තිබූ පරික්ෂාව පහවන්නට ඉඩ තිබුණි. බොහෝ ලොකු දේවල් කර තිබු ජුදස්ට ඒ පොඩිදේ කර ගැනීමට බැරි විය.



ඊට හේතුව ඔහුට ඔහුවම පාලනය කර ගත නොහැකි තත්ත්වයකට සාතන් ඔහුව ඇද දමා තිබීමය. ජුදස්, ශ්‍රාවකයන්ව ජේසු සමිඳුන් ගෙයින් ගෙටයෑමට පිටත්කර යැවූකාලයේ යක්ෂයන් ආවේශවූ අයව ද සුව කළ කෙනෙකි. එහෙත් ඔහුට ඔහුගේ ඇඟ ඇතුලට ගිය යක්ෂයාව දුරුකර ගැනීමට බැරි විය. අපමණ යකුන් දුරුකර තිබුණු ජේසු සමිඳුන්ටත් එ ජුදස්ට ආවේශවී සිටි යක්ෂයා දුරු කර ගැනීමට බැරි විය. කෙසේ හෝ සාතන්ගේ උගුලට ජුදස්ව බිලිවන්නේ ඔහු උන්වහන්සේගෙන් ඈත්වීම නිසා බව පැහැදිළිය. සාතන්ට බිලිවීමට වැඩි වෙලාවක් යන්නේ නැත. ජුදස්ද මුල සිටම සාතන්ට හසුවුණු කෙනෙක් නොවේ. ඔහුද අන්තිම මොහොතේ යකාට නතුවුණු අයෙකි. 

පරික්ෂා ජුදස්ට පමණක් නොව අපටද එයි. ඒවාට නොවැටී සිටීමට හැකි එකම විධිය ස්වාමින් වහන්සේ සමඟ සිටීමය. උන්වහන්සේ කියන විධියට අවධියෙන් සිටීමට සැම විටම අපටද නොහැකිය ?

ගරු රුවන් සඳසිරි පියතුමා අතුළු, පියතුමන්ලාගෙ සාකච්චාව ඈසුරෙනි.

ලිපි පළකිරිම - රංජන් මැල්

(අන්තර්ජාලිය සයිබ අවකාශය තුලත්, දේව වචනය මාංශගතකිරිමේ වෑයමකි.)


Monday, March 31, 2014

ඔබ මිනිසුන්ට සමීපවන විධිය හරිද?


මාර්තු 23 වන ඉරිදා,  ජුවාම් 4: 5-15, 19-26, 39-42.

අද ජේසු සමිදුන්ට මුණගැසෙන සමාරිය ස්ති‍්‍රය අතේ ඇත්තේ වතුරෙන් පමණක් නොව කඳුලෙන් පවාපිරවිය හැකි කලයකි. ඒ තරමට ඇයට ඇත්තේ දුක්බර කතාවකි. දැනටමත් පිරිමි 7 දෙනෙකු සමග සිටි ඇයට දැන් පවා සිටින්නේ තමාව කසාද බැඳීමට කැමැත්තෙන් සිටිනකෙනෙකු නොවේ. 





Saturday, March 29, 2014

ඔබේ ගෙදරත් තාබෝර් කන්දක්ද ?



මතෙව් 17:1-9 - මාර්තු 16 වන ඉරිදා

තාබෝර් කන්දට අද ජේසු සමිදුන් නගින්නේ තාත්තා සමග කතා කරන්නටය. වෙනදා ? එළිවෙනකම් තමා සමග කතාකරන තාත්තා අද කන්දට ආවේ තවත් අමුත්තන් දෙදෙනෙකුද සමගය. තමන්ට හැගෙනදේ ඒ මොහොතේම කෙලින්ම කීමට පුළුවන්කම තිබියදි පරණ දිවැසිවරු දෙදෙනෙකු සමග තාත්තා පුතාට කතා කරන්නට ඒමෙන් සිදුවුදේ ගැන යළි යළිත් සිතන්නට ජේසු සමිදුන් පෙළඹුනා. 

දෙවියන්වහන්සේ දිවැසිවරු මගින් කතා කළ යුගය අවසන් බව උන්වහන්සේටද සිතී තිබුනි. එහෙත් තාබෝර් කන්දේදි මේසිතිවිල්ල මුලුමනින්ම වෙනස්විය. පරණ දිවැසිවරයකුට පවා උන්වහන්සේට කීමට අලූත්දෙයක් තිබෙයි. දෙවියන්වහන්සේගේ ඇස්පනාපිට මොසෙස්  සහ එළියා යන දෙදෙනාටම ජේසු සමිදුන්ට කීමට දෙයක් තිබෙයි. තාබෝර් කන්දේ ජේසු සමිදුන් කරන්නේ කතා කරනවාටත් වඩා ඔවුන්ට සවන්දෙන එකයි. පුතාට මෝසෙස් කියන දේවල්ද එළියා කියන දේවල්ද කියා අවසන්වන තුරු තාත්තාද කට පියාගෙන සිටියේය. ඒ තරමට තාත්තාද පුතාද දෙදෙනාම තවත් දෙදෙනෙකුට සවන්දෙන තත්ත්වයට පත්වුහ. කෙනෙකුට සවන් දිමේ වැදගත් කම මෝසෙස් සහ එළියා කතා කළ විධියෙන්ද පෙනුනි. මොසෙස් කතා කරන විට එලියා කට පියාගෙන සිටියේය. ඔවුන්ද කතා කළේ උන්වහන්සේට දෙදෙනාටම සවන් දිමට පුලුවන්වන විධියටය. එනම් තාබෝර් කන්දේ හතර පස් දෙනෙක් සිටියද ඒ හැමෝම කතා කිරිමට ඇවිත් තිබුණද ඔවුන් හැමොම වැඩියෙන්ම කළේ කතා කිරිමටත් වඩා සවන්දිමය. මේ සිදුවන කිසිත් නොදත් පේදුරු වාචාල කමට කෑ ගැසුවේය. ඔහුට දෙවියන්වහන්සේ තදින්ම තරවටු කළේය."මොහුට සවන් දෙන්නැයි" දෙවියන්වහන්සේ පේදුරුට කියන විට ජේසු සමිදුන් ද සිටියේ කතා කරකර නොව වෙන කෙනෙකුට සවන්දෙමින්ය. සවන්දෙන පුතාට සවන්දෙන්නැයි දෙවියන්වහන්සේ කීවේ සවන්දෙන කෙනෙකුගෙන් කතාකරන කෙනෙකුගෙන් ඉගෙන ගන්නා දේවල්වලටත් වඩා වැඩි දේවල් ඉගෙන ගැනීමට ඇති නිසායි.


අප තුන්හතර දෙනෙක් එකතුවන තැන්වල සිදුවන්නේ තාබෝර් කන්දේ සිදුවු දේවල්වලට හාත්පසින්ම වෙනස් දේවල්ය. දෙවියන්වහන්සේ කතා කරන විට වෙන කිසිකෙනෙකුට කතා නොකළ හැකි තත්ත්වයක් කන්දේ උද්ගත වූයේ නැත. ඒ වෙනුවටඅප දුටුවේ උන්වහන්සේ අනිත් අයට කතා කරන්නට ඉඩදෙන තත්ත්වයකි. වෙන කාටවත්කතා කරන්නට ඉඩනොදි තමා පමණක් කතා කළයුතු යැයි සිතන අය පාර්ලිමේන්තුවේ පමණක් නොව අපේ ගෙවල්වලද සිටිති. 

Tuesday, March 11, 2014

සමිදාණන් එපා කීදේවල් ඔබටත් එපාද?


මාර්තු 09 චතාරිකයෙ පළමු ඉරුදින.

මතෙව්-4:1-11 

ශුද්ධාත්මයාණන් වහන්සේ උන්වහන්සේට පාළුකරයට යන්නැයි කියනවිට උන්වහන්සේගේ අතේවතුර බෝතලයක්වත් තිබුණේනැත. දත්බුරුසුවක්, සබන්කෑල්ලක් කමිසදෙකක් ගත්තේ නැතිව අප නම් කොයි ගමනක්වත් යන්නේ නැත. එහෙත් උන්වහන්සේ පාළුකරයට ගියේ හිස් අතින්මය. එහිදි උන්වහන්සේ දින 40 ක් නොකානොබී සිටියේය. කෙනෙකුට ජිවත්වීමට කොයි තරම්නම් දේවල් අවශ්‍ය බව කීවද ඒ කිසිම දෙයක් නොමැතිව දවස් 40 ක් සිටීමට හැකිබව උන්වහන්සේට පෙනුනි. උන්වහන්සේට පෙර මෝසෙස් සීනයි කන්දේ මෙසේ දෙවියන්වහන්සේ සමග කතා කරමින් නොකානොබී දින 40 ක් පසු කළේය. මිනිසා ජිවත්වන්නේ ආහාරයෙන් පමණක් නොව දෙවියන්වහන්සෙගේ මුවින්නික්මෙන සෑම වචනයකිනම බව ජනතාවට මෝසෙස් කියා දි තිබුණේ ඔහුගේම පෞද්ගලික අත්දැකීමෙනි. 



Tuesday, March 4, 2014

චතාරිකය යනු පාස්කු මඟුලට සුදානම් වීමයි



 පාස්කුව යනු කිතුනුවන්ගේ මහා මංගල උළෙලයි. කිතු සමිඳුන් මරු පරදා උත්ථානය ලැබීම වත්මන් පාස්කුව තුළින් අපි සිහිපත් කරමු. චතාරිකය යනු පාස්කු උළෙලට සුදානම් වීමකි. මේ සඳහා අළු බදාදා සිට දින 40 ක කාලයක් ශුද්ධවු සභා මාතාව විසින් වෙන් කර දී තිබේ. මෙම කාලය තුළදී ක්‍රිස්තුන් වහන්සේගේ මහිමාන්විත උත්ථානය සැමරීම සඳහා කිතුනුවෝ පශ්චාත්තාපී ක්‍රියාවන් තුළින් සුදානම් වෙති.


චතාරිකය යන වචනයේ තේරුම කුමක්ද? අපේ පැරැන්නෝ චතාරිකය යනුවෙන් නොව කොරැස්මය යනුවෙන් ව්‍යවහාර කළහ. මීට අදාළ ලතින් වචනය වන ක්වඩ්රජෙසිමා  Quadragesima  දින 40 ක කාලය යන අරුත දනවයි. ඉතාලි භාෂාවෙන් මීට අදාල ක්වරේසීමා Quaresima යන වචනයෙන් කොරැස්මය යන වචනය අපේ පැරැන්නන් සාදා ගත් බව සිතිය හැකිය. ඉංග්‍රිසියෙන් මෙම කාලසීමාව (Lent)  ලෙන්ට් යනුවෙන් හැඳින්වේ.