Tuesday, March 11, 2014

සමිදාණන් එපා කීදේවල් ඔබටත් එපාද?


මාර්තු 09 චතාරිකයෙ පළමු ඉරුදින.

මතෙව්-4:1-11 

ශුද්ධාත්මයාණන් වහන්සේ උන්වහන්සේට පාළුකරයට යන්නැයි කියනවිට උන්වහන්සේගේ අතේවතුර බෝතලයක්වත් තිබුණේනැත. දත්බුරුසුවක්, සබන්කෑල්ලක් කමිසදෙකක් ගත්තේ නැතිව අප නම් කොයි ගමනක්වත් යන්නේ නැත. එහෙත් උන්වහන්සේ පාළුකරයට ගියේ හිස් අතින්මය. එහිදි උන්වහන්සේ දින 40 ක් නොකානොබී සිටියේය. කෙනෙකුට ජිවත්වීමට කොයි තරම්නම් දේවල් අවශ්‍ය බව කීවද ඒ කිසිම දෙයක් නොමැතිව දවස් 40 ක් සිටීමට හැකිබව උන්වහන්සේට පෙනුනි. උන්වහන්සේට පෙර මෝසෙස් සීනයි කන්දේ මෙසේ දෙවියන්වහන්සේ සමග කතා කරමින් නොකානොබී දින 40 ක් පසු කළේය. මිනිසා ජිවත්වන්නේ ආහාරයෙන් පමණක් නොව දෙවියන්වහන්සෙගේ මුවින්නික්මෙන සෑම වචනයකිනම බව ජනතාවට මෝසෙස් කියා දි තිබුණේ ඔහුගේම පෞද්ගලික අත්දැකීමෙනි. 





එය තමාගේද අත්දැකීම කරගෙන පාළුකරයෙන් එළියටඑන දවසේ සාතන් ගල් ගෙඩි අත දරාගෙන උන්වහන්සේ ලඟට ඇවිත් "ඔබවහන්සේ දෙවියන්වහන්සෙගේ පුත‍්‍රයා නම් මේ ගල්ගෙඩි පාන්ගෙඩි කර කන්නැයි" උන්වහන්සේට කියනවිට ජෙසු සමිඳුන් හිත යටින් සාතන්ට සිනාසෙන්නට ඇත. දින 39 ක් පාන්වත් වතුරවත් නැතිව සිටීමට පුළුවන් වී තිබීමෙන් අන්තිම දවසේ ද එසේම පාන් කන්නෙ නැතිව සිටීමට උන්වහන්සේට  ඕනෑ තරම් පුළුවන්කම තිබුනි. කන්නේද බොන්නේද නැතිව මිනිස් ජීවිතය නඩත්තු වන්නේ නම් එය ජිවත් කිරිමට වෙන කිසිම දෙයක්ද අවශ්‍ය නැතිබව ජේසු සමිඳුන්ට හොඳටම පැහැදිළි වී තිබුනි. සාතන් ඇවිත් ලෝක වස්තුව පෙන්නා තමන්ට දණනමන්නට කියනවිටද, ජෙරුසලම් දේවමාලිගයේ කොත මුදුනෙන් පැන ජනපි‍්‍රයත්වය සොයන්නැයි කියන විටද ජෙසු සමිඳුන්ට පාන් කන්නැයි කියන විටදිමටත්වඩා සාතන් කරන්නට යන දේ අතටම හසුවුණේය. මිනිසකුට පාන්ද වතුරද නැතිව ජිවත්වීමට පුළුවන්කම තිබියදි වස්තු සම්පත්ද පුහු ජනපි‍්‍රයත්වයද නොමැතිව  ඕනෑ තරම්හොඳට ජිවත්විය හැකිබව පැහැදිළිය. ජිවත්වීමට අවශ්‍ය වන්නේ දෙවියන්වහන්සේගේ වචනය පමණි. එය වසං කිරිමට සාතන් මිනිසාට දෙන පරික්ෂා ගැන උන්වහන්සේ හොඳට දැනුවත්වූහ.

 අද අප බොහෝ දෙනෙක් හසුවන්නේ ජේසු සමිදුන් පරාජය කළ පරික්ෂාවලටය. උන්වහන්සේ එපා කීදේවල්වලට අද අපි ‘හා’ කියා කියමු. ජිවිතය ගැටගසා ගැනීමට ලොකු ලොකු දේවල්  ඕනේ නැති බව අපටද තේරෙයි. එහෙත් ලොකු ලොකු දේවල් පස්සේයන පුරුද්දට අප දන්නේම නැතුව හසුවේ. කෙසේහෝ ජේසු සමිදුන් එපා කීදේවල් ඔබට අවශ්‍ය යැයි කියා සිතෙනවා නම් ඔබ දැනටමත් සිටින්නේ පරික්ෂාවකට හසුවී බව පැහැදිළිය. ජිවිතයට වඩා වටිනා දෙයක් ඉඩකඩම් වලවත් වස්තු සම්පත් වලවත් ජනපි‍්‍රයත්වයේවත් නැත.
 දෙමව්පියෙකුට දරුවකුට වඩා වටිනා දෙයක් මේ ලෝකේ නැත්තේ ඒ නිසාය. ජිවිතය අපට ඇති වටිනාම වස්තුව වුවද අද බොහෝ දෙනෙක් වෙන වෙන දේවල් නිසා මේ වස්තුව නැතිකර ගනී. කෙනෙක් මුළුලෝකයම ලබා ගත්තත් තම ආත්මය නැතිකර ගන්නේ නම් ඉන්කවර ඵලක්දැයි ජේසු සමිදුන් අපෙන් ඇසුවේ මිනිසා ලඟ ඇත්තේ කවර විධියේ සම්පතක් දැයි හොඳටම දැනගෙනය. ඔබේ හිත දහඅතේ යන්නේ එය එක තැනක තිබියයුතු බව නොදන්නා නිසාද? මේ යන විධියට ඔබව  ඕනෑම වෙලාවක පරික්ෂාවකට වැටෙන්නබැරිද?

ගරු රුවන් සඳසිරි පියතුමා අතුළු, පියතුමන්ලාගෙ සාකච්චාව ඈසුරෙනි. 


ලිපි පළකිරිම - රංජන් මැල්
(අන්තර්ජාලිය සයිබ අවකාශය තුලත්, දේව වචනය මාංශගතකිරිමේ වෑයමකි.)






No comments:

Post a Comment