Thursday, December 5, 2013

බිළිඳෙක්, ප‍්‍රඥාවන්තයන් සමූහයක් සහ තරුවක්.. මේ කවුද? මොනවද ඔවුන් සොයන්නේ?


-මහාචාර්ය ඇන්ටන් මීමන

ශුද්ධවූ මතෙව් තුමාගේ ශුභාරංචියේ සඳහන් වන ආකාරයට; 
හෙරෝද් රජු දවස ජුදයේ බෙත්ලෙහෙමෙහි ජේසුස් වහන්සේ උපන් කල, පෙරදිගින් ශාස්ත‍්‍රවන්තයෝ ජෙරුසලමට අවුත්,

"ජුදෙව්වරුන්ට රජව උපන් උතුමාණෝ කොතැන්හිද? අපි එතුමාණන්ගේ තාරකාව පෙරදිග දී දැක, එතුමාණන්ට නමස්කාර කරන පිණිස ආවෙමු" යි කීහ” (2:1-2). 


මෙහිදී ශ‍්‍රාස්ත‍්‍රවන්තයන් හෙවත් ප‍්‍රඥාවන්තයන් (ග‍්‍රීක භාෂාවෙන් ලියැවී ඇති නව ගිවිසුමේ මේ සඳහා යොදා ඇත්තේ ”මගොයි” යන පර්සියාන වචනයයි). ලෙස අදහස් කරන්නේ කවුරුන්ද? ඔවුන් පෙරදිග පිහිටි කුමන රටවලින් පැමිණියේද? ඒ සඳහා බයිබලීය විශාරදයන් අතර ප‍්‍රධාන යෝජනා තුනක් පවතී.

01. පාර්තියාව හෝ පර්සියාව

පෙර සඳහන් කළ පරිදි ශාස්ත‍්‍රවන්තයන් සඳහා මතෙව් තුමා භාවිත කරන වචනය ”මගොයි” වන පර්සියාන වචනයකි. ඒ අනුව ඔවුන් මේදවරුන් (Medes) හො පර්සියානවරුන් විය හැකිය. මෙම ජාතීන් දෙක ජීවත් වූ භූමිය වර්තමානයේ ඉරානයට සමාන වේ. කි‍්‍ර.පූ. 6 වන ශත වර්ෂය වන තෙක් මේදවරුන් මෙම ප‍්‍රදේශයේ ජීවත් වූ බලසම්පන්න ජාතිය විය. මේදවරු එවකට මැද පෙරදිග ප‍්‍රදේශයේ අධිරාජයා වී සිටි අසිරියාන බලය පරාජය කිරීමට ශත වර්ෂයකට වඩා කාලයක් අරගල කරන ලදි. ඔවුන් කි‍්‍ර.පූ. 612 දී බැබිලෝනියාවේ සහයෝගය ද ඇතිව අසිරියාවේ අගනුවර වූ නිනිවය විනාශ කරන ලදි. නමුත්, එම ජයග‍්‍රහණය තාවකාලික එකක් විය.


එවකට පර්සියාන ජාතියේ රජ වූ මහා සයිරස් (Cyrus the Great) සමස්ත පර්සියාන ජාතිය එක්සේසත් කොට මේදියවරුන්ගේ අග නගරය වන එක්බතානා (වර්තමාන ඉරානයේ ”හමදාන්” නගරය) කි‍්‍ර.පූ. 550 දී ආක‍්‍රමණය කර එය පර්සියාන අධිරාජ්‍යයට ඈඳා ගන්නා ලදි. එසේ මේදියාව (Medes) පර්සියානු අධිරාජ්‍යයේ කොටසක් බවට පත් විය. ඒ අනුව එක අධිරාජ්‍යයක් තුළ ජාතීන් දෙකක් ජීවත් විය.

හෙරඩෝටස් නමැති ග‍්‍රීක ඉතිහාසඥයා කි‍්‍ර.පූ. 6 වන ශත වර්ෂයේ මේදියවරුන් අතර සිටි පූජක පැලැන්තියක් ගැන විස්තර සපයයි. ඔවුන්ට සිහින අර්ථකථනය කිරීමට විශේෂ බලයක් සහ හැකියාවක් තිබුණි. මේදියවරුන්ගෙන් පර්සියානවරුන්ට කි‍්‍ර.පූ. 550 දී දේශපාලන බලය මාරු වීමෙන් පසුවත්, එමෙන්ම ශක්තිමත් වෙමින් පැවති සරතුස්ත‍්‍ර ආගමේ හෝ සොරුස්ට දහමේ (Zoroastrianism or Zarathustrianism) පෑමෙන් පසුවත් මෙම ප‍්‍රඥාවන්ත පූජක පන්තිය විනාශ නොවී පැවතුණි. ඒ අනුව හෙරඩෝටස්ගේ කාලය (ක‍්‍රි.පූ.450 පමණ) වන විට මෙවැනි ශාස්ත‍්‍රවන්තයන් සාරතුස්ත‍්‍ර දහමේ පූජකවරුන් ලෙස ද කටයුතු කළහ.

ඊට පසු ශත වර්ෂවල මෙවැනි ශාස්ත‍්‍රවන්තයන්ගේ කාර්යභාරයේ විවිධත්වයක් ඇති වූයෙන්, ”මගොයි” යන නාමය විවිධ රහස් පිළිබඳ ඥාන සම්භාරයක් සහ සම්ප‍්‍රදායයන් දැන සිටි පුද්ගලයන්ට මෙන්ම මායම් පිළිබඳ ශ‍්‍රැතියක් සහිත පුද්ගලයන්ට ද ආරෝපණය කරන ලදි.

මුල් කාලීන කි‍්‍රස්තියානි බිතු සිතුවම්වල පවා මෙම ශාස්ත‍්‍රවන්තයන් සිත්තම් කර තිබුනේ පර්සියානු හෝ පාර්තියානු ඇඳුම් සමඟය. එනම් ඉන පටි සහිත දණ හිස් දක්වා වැටෙන අත් දිග කබාය, ප‍්‍රිගියන් කැප් තොප්පිය සහ කලිසමක් මෙන් කකුල් වසා අඳින ඇඳුමය. ශාස්ත‍්‍රවරුන්ව මෙවැනි ඇඳුම් සමඟ සිතුවම් කර තිබීම නිසා ඇති වූ ප‍්‍රසිද්ධ සිද්ධියක් වාර්තා වේ. ක‍්‍රි.ව. 614 දී සසනිඞ් නම් පර්සියාන රජ වංශයෙ කොස්රෝස් රජුගේ හමුදා පලස්තීනය දරුණු ලෙස ආක‍්‍රමණය කර ක‍්‍රිස්තියානි දෙව්මැදුරුවලට ගිනි තබමින් සිටියේය. නමුත් කොන්ස්තන්තීනූ අධිරාජ්‍යයා විසින් තනන ලද සහ ජස්ටිනියන් අධිරාජ්‍යයා විසින් ප‍්‍රතිසංස්කරණය කරන ලද බෙත්ලෙහෙමේ පිහිටි බැසිලිකාවට පර්සියාන හමුදාව විසින් කිසිඳු හානියක් සිදු නොකරන ලදි.



එයට හේතු වූයේ එම බැසිලිකාවේ බිතු සිතුවම්වල ශාස්ත‍්‍රවන්තයන්ව පර්සියාන ජාතිකයන් ලෙස නිරූපණය කර තිබීමයි. ආක‍්‍රමණික පර්සියාන යුධ හමුදාව තම රට වැසියන්ව ක්ෂණිකවම හඳුනා ගන්නා ලදි. (මෙම සිද්ධිය වාර්තා වූයේ ජෙරුසලම් මන්ත‍්‍රණ සභාව සම්බන්ධයෙන් කි‍්‍ර.ව. 836 දී ලියැවුණු හසුනකය.)

සමහර සභා පියවරු ද මෙම ශාස්ත‍්‍රවන්තයන්ට පර්සියාන සරතුස්ත ආගමේ පසුබිමක් ඇති බවට තර්ක කළහ. ඇලෙක්සැන්ඩි‍්‍රයාවේ ක්ලෙමන්ට් තුමා ඒ අතර ප‍්‍රධාන තැනක් ගනී. මෙසියස් තුමාගේ පැමිණීම සම්බන්ධයෙන් සාරතුස්ත‍්‍ර තුමා අනාවැකි පළ කළ බව සමහර සභා පියවරුන් අතර මතයක් විය.

ඒ අනුව සාරතුස්ත‍්‍ර තුමා, කි‍්‍රස්තුන් වහන්සේගේ සපැමිණීම ගැන අනාවැකි ප‍්‍රකාශ කළ දිවැසිවරයෙකු ලෙස සළකන ලදි. පර්සියාන යුගාන්තවේදී සහ ජුදා දන ශ‍්‍රැතියේ මිශ‍්‍රණයකින් කි‍්‍ර.පූ. 100 - කි‍්‍ර.ව. 100 අතර කාලය තුළ ලියැවුණු "හිස්ටපෙස්ගේ පේන කීම්” (Oracles of Hystapes) කෘතියේ දේව පුත‍්‍රයා සහ එතුමාගේ පැමිණීම සම්බන්ධයෙන් සඳහන් වී ඇති බව ක්ලෙමන්ට් තුමා සඳහන් කරයි. එමෙන්ම ”ළදරු විය පිළිබඳ අරාබි සුභාරංචිය” මෙසේ වාර්තා කරයි; "සාරතුස්ත‍්‍රගේ අනාවැකියට අනුව සමහර ශාස්ත‍්‍රවන්තයන් ජෙරුසලමට පැමිණියහ" (7:1).

02. බැබිලෝනියාව

පෙරදිගින් නැඟ එමින් තිබූ තරුව යන අදහසේ නක්ෂත‍්‍ර විද්‍යාත්මක අර්ථයක් තිබෙන නිසා, ශාස්ත‍්‍රවන්තයන් පැමිණෙන්නට ඇත්තේ බැබිලෝනියාවෙන් විය හැකිය. බැබිලෝනියානුවරු සහ කල්දිවරු තාරකා විද්‍යාවේ සහ නක්ෂත‍්‍ර ශාස්ත‍්‍රයේ දියුණුවට ඉමහත් සේවයක් කරන ලදි. විශේෂයෙන් නක්ෂත‍්‍ර ශාස්ත‍්‍රය හෙවත් ජ්‍යොතිෂ්‍ය ශාස්ත‍්‍රය ඔවුන් විසින් ආරම්භ කරන ලදි. (නක්ෂත‍්‍ර ශාස්ත‍්‍රය සහ ක‍්‍රිස්තුන් වහන්සේ අතර ඇති සම්බන්ධය විස්තරාත්මකව පසුවට සාකච්චා කරනු ලැබේ). කි‍්‍ර.පූ. 587 දී ආරම්භ වූ බැබිලෝනියානු විප‍්‍රවාසත් සමඟ ජුදා සහ බැබිලෝනියානු සංස්කෘතීන් දෙකේ මිශ‍්‍ර වීමක් ඇති වුණි. ක‍්‍රි.පූ. 539 දී මහා සයිරස් රජු බැබිලෝනියාව පරාජය කොට ජුදා වංශයට නැවත තම දේශය වන පලස්තීනයට යෑමට කි‍්‍ර.පූ. 538 දී ආඥාවක් ද නිකුත් කරන ලදි.

නමුත් සමහර ජුදා ජාතිකයෝ බැබිලෝනියාව තුළම නැවතී තම ව්‍යාපාරික කටයුතු සහ අනෙකුත් වෘත්තීන් දිගටම කරගෙන යන ලදි. එම නිසා බැබිලෝනියානු නක්ෂත‍්‍රකරුවන් ජුදා ජාතියේ සංකල්පයක් වූ මතු පැමිණෙන ගැළවුම්කරුවකු පිළිබඳව බලාපොරොත්තු ගැන යමක් දැන සිටින්නට ඇත. එබැවින් මෙම සුවිශේෂිත තරුව ජුදෙව්වරුන්ගේ රජව උපන් තැනැත්තාට ආදේශ කරන්නට ඇත.

කි‍්‍ර.පූ. දෙවන ශත වර්ෂයේ ග‍්‍රීක භාෂාවෙන් ලියැවණු දිවැසිවර දානියෙල් ගේ පොතේ බැබිලෝනියේ නෙබුකද්නෙසර් රජ සමයේ සෑම තැනම වර්ධනය වෙමින් පැවති මෙවන් ශාස්ත‍්‍රවන්තයන් ගැන සඳහන් වේ. වශී කරන්නන් සහ නක්ෂත‍්‍රකරුවන්ට මෙන් මෙවැනි ප‍්‍රඥාවන්තයන්ට ද සිහින සහ පරිකල්පනමය පණිවුඩ අර්ථ කථනය කිරීමට ද බලය තිබෙන බවට විශ්වාස කෙරුණි.

”එබැවින් ඔව්හූ රාජ සේවයට ඇතුළත් කරන ලදහ. තේරුම් පැහැදුම් ඇතිව විමසිය යුතු යම් යම් කරුණු සම්බන්ධයෙන් රජතුමා ඔවුන්ගෙන් විමසූ විට, මුළු රාජ්‍යයේ සිටි සියලූ මන්ත‍්‍රකාරයන්ටත්, අනවිනකාරයන්ටත් වඩා දස ගුණයකින් ඔවුන් සමත් බව එතුමාට පෙනී ගියේය” (දානියෙල් 1:20). "එවිට රජු දුටු ස්වප්නය ඔහුට දන්වන පිණිස මන්ත‍්‍රකාරයන් ද අනවිනකාරයන් ද මායාකාරයන් ද කල්දිවරුන් ද කැඳවන්න රජතුමා අණ කළේය" (දානියෙල් 2:2). "මා යහනේ සිටියදී මට ඇති වූ සිතිවිලි හා හිසට නැඟුනු දර්ශන මා බිය ගැන්වීය. ස්වප්නයේ තේරුම මට දන්වන පිණිස බැබිලෝනියේ සියලූ ශාස්ත‍්‍රවන්තයන් මා ඉදිරියට පමුණුවන හැටියට මම අණ කෙළෙමි. එවිට මන්ත‍්‍රකාරයෝ ද අනවිනකාරයෝ ද පේන කියන්නෝ ද මා වෙත ආවෝය" (දානියෙල් 4:5-7)

සී.එස්. මාන් නැමැති බයිබලීය විශාරදයාට අනුව මතෙව් සුවිශේෂකවරයා සඳහන් කරන ශාස්ත‍්‍රවන්තයෝ යනු බැබිලෝනියාවේ විසූ ජුදා ජාතික කට්ටඬියන් සහ තාරකාවලට වන්දනා මාන කරන්නන්ය. නමුත් ඔවුන් තමන් පෙර කරන ලද කටයුතු සම්පූර්ණයෙන්ම නවතා දමා ජේසු බිළිඳාට ගරු බුහුමන් දැක්වීම උදෙසා බැබිලෝනියාවේ සිට පැමිණ ඇත.

පුරාණ මිසරයේ පාරාවෝ රජ ගේ ශාස්ත‍්‍රවන්තයන්, අනවිනකාරයන් සහ ඉන්ද්‍රජාලිකයන්, මෝසෙස් තුමන් විසින් අභිබවා කටයුතු කළ ආකාරයට, ක‍්‍රිස්තුන් වහන්සේගේ උපතත් සමඟ නක්ෂත‍්‍ර ශාස්ත‍්‍රයන්ගේ බලය බිඳ දමන ලදි. ඩබ්ලිව්.ඞී. ඬේවිස් නැමැති බයිබලීය විශාරදයා පවසන අන්දමට ශාස්ත‍්‍රවන්තයන් සිය කරඬු ඇර රන් ද, කට්ටකුමංජල් ද, ගන්ධ රස ද පුදමින් පසඟ පිහිටුවා වැඳ වැටුනේ වඩා ශ්‍රේෂ්ඨ මෝසෙස් කෙනෙක් (එනම් ජේසුස් වහන්සේ) පාමුලය.

03. අරාබිය හෝ සිරියානු කාන්තාරය

මතෙව් තුමාගේ සුවිශේෂයේ සඳහන් ශාස්ත‍්‍රවන්තයන් රැගෙන ආ තිළිණයන් අනුව මෙම ප‍්‍රදේශවලින් එන්නට ඇත. රත්තරන් සහ තුවරලා යන තිළිණයන් උතුරු අරාබියේ මිදියන් ප‍්‍රදේශයෙන් සහ දකුණු අරාබියේ ෂෙබා ප‍්‍රදේශයෙන් එන ඔටුවන් විසින් රැගෙන එන ද්‍රව්‍යයන්ය.

යෙසායා දිවැසිවරයාගේ පොතේ ඒ ගැන මෙසේ සඳහන් වේ; "ඔටුවන් සමූහයකින් යුත් තවලම් මිදියන් හා ඒපා දේශවලින් නුඹ වෙත රොක් වෙයි. ඔවුන් ෂෙබා දේශයෙන් රන් ද, සුවඳ ද්‍රව්‍යයද රැගෙන අවුත් සමිඳුන්ගේ ප‍්‍රශංසාව ප‍්‍රකාශ කරනු ඇත" (60:6). ගීතාවලියේ ඒ ගැන මෙසේ ලියා ඇත; "ෂෙබාහි රත්තරන් එතුමාට පුදනු ලැබේවා" (72:15). ජෙරමියා දිවැසිවරයාගේ පොතේ මෙසේ සඳහන් කර තිබේ; "ෂෙබාගෙන් කට්ටකුමංජල් ද (හෝ තුවරලා = Frankincense) දුර දේශයකින් හඳුන්කූරු ද මට ගෙනෙන්නේ කුමට ද?” (6:20). දෙවන වංශාවලිය පොතෙන් ද ෂෙබා දේශය රත්තරන්, සුවඳ ද්‍රව්‍ය සහ මැණික් ගල්වලට ප‍්‍රසිද්ධ බව සඳහන් කරයි. ”ෂෙබාහි රැජිණ සලමොන්ගේ කීර්තිය අසා, ගැටලූ ප‍්‍රශ්නවලින් ඔහු පිරික්සන පිණිස ඉතා විශාල පිරිවරක් ද සුවඳ ද්‍රව්‍ය සහ රන් මහා රාශියකුත් මැණික් ගලූත් පටවන ලද ඔටුවන් ද ඇතිව ජෙරුසලමට ආවා ය” (9:1).

පුරාණ ගිවිසුම තුළ පවා ”නැගෙනහිර ජනතාව” වශයෙන් හඳුන්වන්නේ කාන්තාරයේ ජීවත්වන අරාබි ජාතිකයන්ව ය. ඔවුන් අතර ප‍්‍රඥාවන්තයන් හෝ ශාස්ත‍්‍රවන්තයන් සිටීම පුදුමයට කරුණක් නොවේ. ඔවුන් ප‍්‍රඥාව සම්බන්ධයෙන් කීර්ති නාමයක් දිනාගෙන තිබුණේය. ඒ ගැන පුරාණ ගිවිසුමේ මෙසේ සඳහන් වේ. ”සලමොන්ගේ ප‍්‍රඥාව පෙරදිග රටවල (අරාබිය) සියලූ ජනතාවගේ ප‍්‍රඥාවත්, මිසර වැසියන්ගේ සියලූ ප‍්‍රඥාවත් ඉක්මවා ගියේ ය” (1රාජාවලිය 4:30). ”මස්සාහි ජාකේගේ පුත් ආගුර්ගේ විශිෂ්ට අවවාදානුශාසනා ය” (හිතෝපදේශ 30:1). ”මස්සාහි ලෙමුවෙල් රජුගේ මව ඔහුට දුන් උපදේශ මේ ය” (හිතෝපදේශ 31:1). මෙහි ”මස්සා” (Massa) යනු උතුරු අරාබියේ රාජධානියක් පිහිටුවා ජීවත් වූ අරාබි ගෝත‍්‍රිකයෙකි. ප‍්‍රඥාව සම්බන්ධයෙන් අරාබි ගෝත‍්‍රිකයන් යම් ප‍්‍රසිද්ධියක් දරා සිටි බව මින් පැහැදිලි වේ.

එපමණක් ද නොව, නක්ෂත‍්‍ර ශාස්ත‍්‍රය අරාබිවරුන්ට ආගන්තුක දෙයක් ද නොවේ. අරාබි ගෝත‍්‍ර හතරක්ම තම ගෝත‍්‍රවල නාමයන් ලබාගත්තේ තාරකාවල නම්වලින්ය. ඊට අමතරව ජුදා ජනතාව සමඟද ඔවුන්ට සම්බන්ධතාවයන් තිබුණේය. සලමොන් රජගේ කාලය පටන් ඊශ‍්‍රායලයත්, දකුණු අරාබියත් අතර වාණිජ සබඳතා පැවතුණි. එමෙන් ම යේමනයේ සිටි අරාබි රජ කෙනෙක් වූ "දු නොවස්" (Dhu Nowas)

ජේසු බිළිඳාව බැලීමට පැමිණි ශාස්ත‍්‍රවන්තයන් පර්සියානුන් බව කිතුනු සභා පියවරුන් අතර වැඩියෙන්ම ප‍්‍රචලිතව තිබූ මතය වූවත්, ඔවුන් පැමිණියේ අරාබිකරයෙන් බව කි‍්‍රස්තියානි සභා පියවරුන් අතර ප‍්‍රචලිත වූ මුල්ම මතයයි. කි‍්‍ර.ව. 160 දී ජස්ටින් ප‍්‍රාණපරිත්‍යාගීවරයා තම ”දෙබස” නම් පොතේ ඒ බව මෙසේ ලියා තිබුණේය. ”අරාබියෙන් ශාස්ත‍්‍රවන්තයන් හෙරොද් වෙත පැමිණියේය.” ඊට අවුරුදු 50කට පමණ පසු ටර්ටූලියන් තුමා පවසා සිටියේ ඔවුන් පැමිණියේ ඩැමස්කස් සහ අරාබියෙන් බවයි. එසේ කීමට හේතු වූයේ ඔවුන් රැගෙන ආ තිළිණයන්ය.

කි‍්‍ර.ව. 96 දී පමණ රෝමයේ ක්ලෙමන්ට් තුමා පවසා සිටියේ කට්ට්කුමංජල් සහ ගන්ධරස පැමිණෙන්නේ පෙරදිගින් හෙවත් අරාබියට ආසන්න ප‍්‍රදේශවලින් බවයි.

ඉහත කරුණු අනුව පෙනෙන්නේ ක‍්‍රිස්තුන් වහන්සේව සොයා පැමිණි ශාස්ත‍්‍රවන්තයන් පර්සියාවෙන් හෝ බැබිලෝනියාවෙන් හෝ අරාබිකරයෙන් පැමිණි බවයි. නමුත් ඔවුන් පැමිණියේ එකම අරමුණක් ස`දහාය. එනම් ක‍්‍රිස්තුන් වහන්සේව සොයා ගැනීමටය. තමන්ගේ දුරබැහැර සිට පැමිණි චාරිකාවේ එකම පරමාර්ථය වූයේ එයයි. ”තාරකාව දැක ඔවූහූ අතීශයින් ප‍්‍රීති ප‍්‍රමෝද වූහ. ඔවූහූ ගෙට පිවිස, ළදරුවා සිය මව වූ මරිය තුමිය සම`ග සිටිනු දැක, පසඟ පිහිටුවා වැඳ, සිය කරඬු ඇර රන් ද, තුවරලා ද, ගන්ධ රස ද යන ප`ඩුරු උන්වහන්සේට පිදුහ”
(ශු.මතෙව් 2:10-11).

 රජතුන් කට්ටුව යන සංකල්පය "මගොයි” යන පර්සියාන වචනයේ තේරුම ශාස්ත‍්‍රවන්තයන් හෝ ප‍්‍රඥාවන්තයන් නම් "රජතුන් කට්ටුව” යන ඉතා ජනප‍්‍රිය සංකල්පය භාවිතයට පැමිණියේ කෙසේද? ඊට ප‍්‍රධාන හේතුව, මතෙව් තුමා සඳහන් කරන පෙරදිගින් ජෙරුසලමට පැමිණි ශාස්ත‍්‍රවන්තයින්ව ගීතාවලියේ සහ යෙසායා දිවැසිවරයාගේ පොතේ එන සමහර පාඨයන්වල ආභාෂයෙන් අර්ථකථනය කිරීමයි.

එවන් බයිබලීය පාඨයන් කිහිපයක් දැන් අපි සළකා බලමු. ”තාර්ෂිස්හී සහ ද්වීපවල රජවරු එතුමාට කප්පම් ගෙවන්නෝය. ෂෙබා සහ සේබාහි රජවරු පඬුරු පුදන්නෝය. එතුමන් අභිමුව රජවරු වැඳ වැටෙන්නෝය. සියලූ ජාතීහූ එතුමාට මෙහෙ කරන්නෝය” (ගීතාවලිය 72:10-11).

"ඊශ‍්‍රායෙල්වරුන්ගේ මිදුම්කාරයා ද ඔවුන්ගේ සුවිශුද්ධ තැනැන් වහන්සේ ද වන සමිඳාණෝ මිනිසුන් විසින් සුළු කරනු ලැබූ, ජාතීන් විසින් පිළිකුල් කරනු ලැබූ, ආණ්ඩුකාරයන්ගේ සේවකයකු වූ තැනැත්තාට මෙසේ වදාළ සේක.”ඊශ‍්‍රායල්වරුන්ගේ සුවිශුද්ධ දෙවි සමිඳාණන් සිය සේවකයා වන නුඹ තෝරාගත් බව දකින රජවරුන් නුඹ ගරු කරන්න නැඟිටිනු ඇත; අධිපතින් නුඹට නමදිනු ඇත” (යෙසායා 49:7). ”සමිඳාණෝ ජෙරුසලමට මෙසේ වදාරණ සේක: ”විදේශිහූ නුඹේ පවුරු ගොඩනඟන්නෝය. ඔවුන්ගේ රජවරු ද නුඹට සේවය කරන්නෝය” (යෙසායා 60:10). ”ජෙරුසලමෙහි ඇති ඔබේ මන්දීරය නමින් රජවරු පඬුරු ගෙනවුත් ඔබට පුදන්නෝය” (ගීතාවලිය 68:29)

කි‍්‍ර.ව. දෙවන ශතවර්ෂයේ අවසානය වන විට ටර්ටූලියන් තුමා (160-220) මෙසේ වාර්තාකොට ඇත. ”පෙරදිගරටවල් ශාස්ත‍්‍රවන්තයන්ව සම්පූර්ණයෙන්ම වාගේ රජවරුන් ලෙස සලකනු ලබයි.”

මෙසේ පැමිණි ශාස්ත‍්‍රවන්තයන්ගේ හෝ ”රජවරුන්ගේ” ගණන තුන් දෙනෙක් ලෙස ජනප‍්‍රිය වීමට හේතුව වූයේ ඔවුන් විසින් රැගෙන ආ තිළිණයන්වල සංඛ්‍යාවයි; එම තිළිණයන් තුන නම්, රත්තරන්, තුවරලා සහ ගන්ධරසයි. ඒ අනුව ඔවුන් තුන්දෙනෙක් පැමිණෙන්නට ඇතැයි යන මතය ප‍්‍රචලිත විය. නමුත් ශුද්ධවර මතෙව් තුමාගේ සුවිශේෂය එසේ පැමිණි ශාස්ත‍්‍රවන්තයන්ගේ නිශ්චිත සංඛ්‍යාව සඳහන් කරන්නේ නැත.

ඔවුන් ගෙනා තිළිණයන් වන රන්, තුවරලා සහ ගන්ධරස යන වර්ග තුනට පුරාණ ගිවිසුමේ සමහර බයිබලීය පාඨයන්වල ආභාෂය බලපා ඇති බව පෙනේ. අප එයින් එක් බයිබලීය පාඨයක් සලකා බලමු; ”ඔටුවන් සමූහයකින් යුත් තවලම් මිදියන් හා ඒපා දේශවලින් නුඹ වෙත රොක් වෙයි. ඔවුන් ෂෙබා දේශයෙන් රන් ද සුවඳ ද්‍රව්‍යය ද රැුගෙන අවුත්, සමිඳුන්ගේ ප‍්‍රශංසාව ප‍්‍රකාශ කරනු ඇත” (යෙසායා 60:6)

පසුකාලීන සම්ප‍්‍රදායයකට අනුව රත්තරන්වලින් ජේසුස් ක‍්‍රිස්තුන් වහන්සේගේ රාජකීයත්වයත්, සුවඳලාටු (තුවරලා) වලින් උන්වහන්සේගේ දේවත්වයත්, ගන්ධරසවලින් උන්වහන්සේගේ ගැළවීමදායක දුක් විඳීමත්, යාච්ඤාමය ජීවිතයත්, සද්ගුණයත් සංකේතවත් වන බවට විශ්වාස කෙරුණි. එමෙන්ම රත්තරන්, සුවඳලාටු යනාදිය රජකුට (”ජුදෙව්වරුන්ට රජව උපන් උතුමාණෝ”) ඉතා සුදුසු තිළිණයන් වේ.

මෙම ශාස්ත‍්‍රවන්තයන්ගේ පැමිණීමත් සමඟ දෙවියන් වහන්සේ විසින් තෝරා ගන්නා ලද ජුදෙව්වරුන්ගේ රජතුමාත් (ජේසුස් වහන්සේ) රෝම අධිරාජ්‍යය විසින් තෝරා ගන්නා ලද ජුදෙව්වරුන්ගේ රජතුමාත් (හෙරෝද්) අතර ගැටුම ඉතා කැපී පෙනෙන ලෙස මතෙව් තුමා නිරූපණය කර ඇත. සැබෑ දේව නියෝජිතයන්ට දේශපාලන නියෝජිතයන් සෑම විටම බියක් දක්වති. දේව නියෝජිතයාගේ පැමිණීමත් සමඟ දේශපාලන අධිකාරීන් කැළඹිල්ලට පත් වෙති.

බෙත්ලෙහෙමේ උපන් ජේසු බිළිඳාට ගරු බුහුමන් දැක්වීම සඳහා පැමිණි මෙම ශාස්ත‍්‍රවන්තයන්ගේ නම් මොනවාද යන්න ගැන පවතින ආදීතම සම්ප‍්‍රදාය අපට ලැබෙන්නේ සිරියාවෙන්ය. කි‍්‍ර.ව. හයවන ශත වර්ෂයේ සිරියානු භාෂාවෙන් ලියැවුණු ”සම්පත් ගුහාව” යන කෘතියේ ඔවුන් පැමිණි දේශයන් සහ නාමයන් ගැන අපට දැනගත හැකිය. එනම්



01. පර්සියාවේ රජ වූ හෝර්මිස්දා (Hormizdah, King of Persia)
02. සබා හි රජ වූ යස්ඬේගර්ඞ් (Yazdegerd, King of Saba)
03. ෂෙබා හි රජ වූ පෙරෝසද් (Perzadh, King of Sheba) යනාදි වශයෙනි.


ක‍්‍රිස්තියානි දහම ගැන ඉතියෝපියානු භාෂාවෙන් ලියැවී ඇති ”ආදම් සහ ඒවගේ පොත” යන්නෙහි ඔවුන්ගේ නම් මෙසේ සඳහන් වේ.

01. හෝර්, පර්සියානුන්ගේ රජ (Hor, King of Persians)
02. බසනාතර්, සබා හි රජ (Basanater, King of Saba)
03. කර්සූඩාන්, පෙරදිග රජ (Karsudan, King of the East)
රෝමානු කතෝලික සම්ප‍්‍රදායයට අනුව එම ශාස්ත‍්‍රවරුන්ගේ නාමයන් ලෙස සැළකෙන්නේ,
01. බල්තසාර් (Balthasar)
02. මෙල්කියෝර් (Melchior)
03. ගැස්පාර් (Gaspar) යනාදියයි.

(මෙම නාමයන් මම ඉතා කුඩා අවධියේ අපේ ආච්චි අම්මාගෙන් අසා දැන සිටියෙමි). මෙම නාමයන් අපට ලැබී ඇත්තේ ක‍්‍රි.ව. හයවන ශත වර්ෂය තුළ දී ලතින් භාෂාවට පරිවර්තනය වූ Excerpta Latina Barbari˜

නම් වංශාවලියකින් ය. මෙහි සඳහන් ගැස්පාර් නමැත්තා කළු ජාතිකයෙක් ලෙස ද සලකනු ලබයි. එම ශාස්ත‍්‍රවන්තයන් එක් කෙනෙක් ඉන්දියාවෙන් පැමිණි බවටත් ජනප‍්‍රවාදයක් පවතී.




මෙම කරුණු කාරණා කෙසේ වූවත් එක දෙයක් පැහැදිලිය. එනම් ඔවුන් ජුදා නොවන ජාතින් නියෝජනය කරන්නන් ලෙසත්, එම ජාතීන්ගේ සංස්කෘතික විවිධත්වය නියෝජනය කරන්නන් ලෙසත් අපට අවබෝධ කරගත හැකිය. එම ශාස්ත‍්‍රවන්තයන්ගේ සැබෑ ස්වාමියා ජේසුස් ක‍්‍රිස්තුන් වහන්සේය. ඔවුන් අසන ප‍්‍රශ්නය දෙස ඉතා ඉවසීමෙන් බලන්න; ”ජුදෙව්වරුන්ට රජව උපන් උතුමාණෝ කොතැන්හිද?” (ශු.මතෙව් 2:2)

ශාස්ත‍්‍රවන්තයන්ගේ හදවත් සැබවින්ම තෘප්තියට පැමිණෙන්නේ ඒවා ක‍්‍රිස්තුන් වහන්සේ තුළ සැතපෙන විට පමණි. ඔවුන්ගේ හදවත් ද දෙවියන් වහන්සේ මවා ඇත්තේ උන්වහන්සේ සඳහා ය; ”අපි එතුමාණන්ගේ තාරකාව පෙරදිග දී දැක, එතුමාණන්ට නමස්කාර කරන පිණිස ආවෙමු” (ශු.මතෙව් 2:2).


 

-මහාචාර්ය ඇන්ටන් මීමන

Published by: Ranjan De Mel.


No comments:

Post a Comment