වර්ෂ 1898 දෙසැම්බර් මස 30 දින මෙලොව එළිය දුටු ගරු පේබියන් ප්‍රනාන්දු පියතුමා 1926 ජූනි මස 24 දින පූජක වරම් ලබා මීසම් කීපයක සහකාර පියතුමකු ලෙසත් තවත් මීසම් කීපයකත් මීසම් භාර පියතුමා ලෙසත් සේවය කර 1948 ජනවාරි මාසයේ තුඩැල්ල මීසම් බාර පියතුමා වශයෙන් සේවය ඇරඹීය. එම කාලයේදී කණුවනගම තුඩැල්ල මීසමට අයත්ව තිබිණි. ගරු පේබියන් පියතුමා තුඩැල්ල මීසමේ සේවය කරන අවදියේ කණුවන ගම ගැන ලොකු ලෙන්ගතු කමක් දැකුවූ බව නොරහසකි.
අද කණුවන දෙව්මැදුරත් සාන්ත ජෝශප් විදුහල පිහිටි භූමි භාගය යම්කිසි පළදායක කාර්යයක් සඳහා යොදා ගෙන නොදියුණු ගමක් හැටියට තිබූ කණුවන ගම නගා සිටුවන්නට. ඒ අනුව එතුමාගේ සංකල්පයක් මත සාන්ත ජෝශප් විදුහල නමින් විදුහල ආරම්භ කරන ලදී. ශාන්ත ජෝශප් විදුහලට ගමේ ළමුන් 40 ක් පමණ ඇතුළු කරගෙන ආරම්භ වීමත් සමග කණුවන ග්‍රාමයේ නවෝදය ආරම්භ වූ බව අවිවාදයෙන් පිළිගත යුතු සත්‍යයකි.
ඒ වකවානුවේ ලාබාලයෙකු වශයෙන් සිටි මෙම ලියුම්කරුට හැගෙන්නේ කණුවන පාසල ආරම්භ නොවන්නට කණුවන ග්‍රාමයේ අද දකින සීඝ්‍ර දියුණුවක් ඇති නොවන බවය. ඒ බැවින් කණුවන ජනතාවගේ හදවත් තුළ නොමැකෙන නාමයකි ගරු පේබියන් ප්‍රනාන්දු පිය නාමය. එතුමාගේ ගුණ සුවඳ දන්නේ අද ජීවතුන් අතර සිටින වැඩිහිටි කීප දෙනෙක් පමණය. එතුමාගෙන් කණුවන ගමට සිදු වූ සේවාව ගැන බාල පරපුරට හඳුන්වා දීම වැඩිහිටි අපගේ පරම යුතුකමකි.
ගරු පේබියන් ප්‍රනාන්දු පියතුමා 1952 ජනවාරි මස තුඩැල්ල මීසමෙන් සමුගෙන නාගොඩ ඇතුළු තවත් මීසම් කීපයක සේවය කර 1976 දී සමිඳු සේවයෙන් විශ්‍රාම ගෙන ගරු පියවරුන් සඳහා එදා වෙන්කර තිබූ මරදාන ශාන්ත ජෝශප් විශ්‍රාමික නිවසට ඇතුල් විය. එම විශ්‍රාමික නිවසේ විශ්‍රාම සුවය ලබමින් සිටින අතරතුර 1986 මාර්තු මස 04 දින වසර 87 ක් ආයු වළඳා එතුමා ස්වර්ගස්ථ විය.
එතුමන් මිහිදන් කර ඇත්තේ නාගොඩ සුසාන භූමියේය. කණුවන ග්‍රාමයේ නවෝදයේ නියමුවාණන් වූ ගරු පේබියන් ප්‍රනාන්දු පියතුමාගේ සග සැපැත්වීමේ 27 වන වසර 2013 මාර්තු 04 වන දිනට යෙදී තිබුණි. එතුමා අපගෙන් සමුගත්තත් එතුමන්ගේ ගුණ සමුදායන් නාමයත් කණුවන ජනතාවගේ හදවත් තුළින් වෙන් නොවේවායි පතමින් එතුමනට මොක් සුව පතමු.
කැලිස්ටස් රණසිංහ - තුඩැල්ල
දායකත්වය - ඥානාර්ථ ප්‍රදීපය.
Published by: Ranjan De Mel.
No comments:
Post a Comment