තමාගේ ජිවිතය පිළිබඳව වඩා නිවැරදි අර්ථවත් සහ ගැඹුරු අවබෝධයක් ලැබිය හැක්කේ එය තේරුම් ගැනීමට උත්සාහ දරන පුද්ගලයාගේ අඛණ්ඩ අධ්‍යාත්මික වර්ධනයේ සහ ගුණවගාවේ ප‍්‍රතිඵලයක් වශයෙන් පමණි.
ක‍්‍රිස්තුස් වහන්සේ කොන්දේසි විරහිත ආදරයේ, දයාවේ, පේ‍්‍රමයේ සහ කරුණාවේ උල්පතයි. දෙවියන් වහන්සේ මිනිස් අපට කොන්දේසි විරහිතව ආදරය කිරීමත්, අපගේ පව්වලට උන්වහන්සේ සමාව දීමත් එකම කාසියේ පැති දෙක වේ. එසේනම්, සැබෑ ආදරයේ මූලික ස්වභාවය කුමක්ද? එය නම් තවත් පුද්ගලයෙකුගේ යහපත තකා, සුබ සිද්ධිය උදෙසා තමන්ව කැප කිරීමයි, වැය කිරීමයි, දිය කිරීමයි.
අප තව පුද්ගලයෙකුට ආදරය කරන විට නොකළ යුතු දේවල් බොහෝය. ආදරයේ නාමයෙන් අප කරනු ලබන සියලූම දේවල් සාධාරණය කළ නොහැකිය. ඒවාට අනුබල දිය නොහැකිය. ආදරයේ නාමයෙන් ඉතා දරුණු දේවල්, අමානුෂික දේවල්, පීඩාකාරී දේවල්, හිංසාකාරී දේවල්, අසාධාරණ දේවල් සහ දාමරික දේවල් මිනිසුන් විසින් කරනු ලබයි. ආදරය යනු සෑම මොහොතකම නිවැරදි දේ කිරීමයි. යහපත් දේ කිරීමයි. මිනිසුන්ව නිදහස් කරන දේ කිරීමයි. නිවැරදි දේ වෙනුවෙන් පෙනී සිටීම සහ ක‍්‍රියාත්මක කිරීම යනු දෙවියන් වහන්සේගේ සැළැස්මට අනුව කටයුතු කිරීමයි.
අවසාන විග‍්‍රහයේදී ආදරය යනු තීරණයකි.( Love is a decision). දිනපතාම ක‍්‍රියාවට නැඟිය යුතු තීරණාත්මක මොහොතකි. ආදරයේ මොහොත එය නොනවතින අඛණ්ඩ තීරණයකි. ( Love is an ongoing decision). එය ඉතා ඇප කැපවීමෙන් නඩත්තු කළ යුතු දෙයකි. ඒ සඳහා අධ්‍යාත්මිකව වෙහෙස මහන්සි විය යුතු වේ. ආදරය අතිශයින්ම තීරණාත්මක තීරණයකි. තීරණයක් නැති තැන වගකීමක් නැත. කැපවීමක් නැත. වැයවීමක් නැත.
ආදරය යනු හුදු හැඟීමක් පමණක් නොවේ. යම් පුද්ගලයෙකු කෙරෙහි ආදරය හැඟීමකින් ආරම්භ විය හැකිය. භාවාත්මක ප‍්‍රබෝධයකින් හටගත හැකිය. ආකර්ශනයකින් පටන් ගත හැකිය. ආදරය යනු නීරස, වියළි සහ ඒකාකාරී දෙයක් නොවන බව සත්‍යයකි. නමුත්, එය හැඟීමකට වඩා, ආකර්ශනයකට වඩා, උත්තේජනයකට වඩා අතීශයින් ගැඹුරු සහ සංකීර්ණ යථාර්තයකි. ආදරය මේ සෑම දෙයකින්ම ඔබ්බට යන අත්දැකීමකි.
ආදරය යනු ප‍්‍රසන්න හැඟීමකින්, තියුණු ආකර්ශනයකින් හෝ භාවාත්මක උත්තේජනයකින් ආරම්භ වී තීරණාත්මක තීරණයකින් අවසන් විය යුත්තකි. නමුත්, එම තීරණය දිනපතාම අළුත් කළ යුතු වේ. නැවත නැවතත් ශක්තිමත් කළ යුතු වේ. යළි යළිත් පටන් ගත යුතු වේ. නැවත නැවතත් අප ආදරය කරන ආකාරය ගැන මෙනෙහි කළ යුතු වේ. එය වඩා නිවැරදි සහ ගැඹුරු කරගත යුතු වේ. ඒ දෙස කාලයෙන් කාලයට නැවත හැරී ආපසු බැලිය යුතු වේ.
ඒ අනුව ආදරය යනු කිසිසේත්ම කිසිම දිනක අවසන් නොවන යථාර්තයකි. ආදරය යනු සදාකාලික අත්දැකීමකි. අපගේ මරණින් පසුව ද අප විසින් කරනු ලබන ලද ආදරය අවසන් නොවේ. සැබෑ ආදරයේ බලපෑම සහ බලය සදාකාලිකය.
අඛණ්ඩව ආදරය කිරීම යනු, තමන්ගේ පෞද්ගලික අනන්‍යතාවය (Individual Identity) හෙවත් චරිත ලක්ෂණ ඉතා ගැඹුරින් තවත් පුද්ගලයෙකු හරහා සොයාගැනීමයි. මා කවුද යන්න අනෙක් පුද්ගලයන් තුළින් නැවත නිර්වචනය කිරීමයි. මගේ නියම පෞද්ගලික අනන්‍යතාවය සැබෑ ජීවිතාර්ථය, ගැඹුරුතම චරිත ලක්ෂණ මට ලැබෙනුයේ මානව සබඳතා තුළින්ය. අන්‍යයන්ගෙන් වෙන්වී, කොන්වී, හුදෙකලාව ජීවත්වීම මිහිපිට අපායකට සමානය. මිනිස් ජීවිතයේ ගැඹුරුතම කැඳවීම එය නොවේ. අප මෙලොවට ඉපදී ඇත්තේ අනුන් වෙනුවෙන් අපගේ ජීවිතය දානය කිරීමටය, වැය කිරීමටය.
දෙවියන් වහන්සේට ආදරය නොකිරීම සැබෑ අසහනයේ, සැබෑ අසතුටේ, සැබෑ කණස්සල්ලේ ආරම්භය යි. මානව ආදරයේ උල්පත දෙවියන් වහන්සේයි. අප තුළ ආදරය කිරීමට ඇති හැකියාව අපට ලැබී තිබෙන්නේ අපට වඩා උත්තරීතර ආදරවන්තයෙකුගෙන් ය. එමෙන්ම එම හැකියාව අපට ලැබෙන්නේ එම ආදරවන්තයාගේ තිළිණයක් වශයෙනි. දෙවියන් වහන්සේගේ කොන්දේසි විරහිත ආදරය අත්දකින්නේ නොමැතිව යමෙකුට සැබවින්ම සතුටු විය නොහැකිය. අප හදවතේ පවතින සෑම තනිකමක්ම, හුදෙකලා භාවයක්ම, පාළු භාවයක්ම, හිස් භාවයක්ම, නීරස භාවයක්ම පුරවාගත හැක්කේ, තෘප්තියට පත්කර ගත හැක්කේ දෙවියන් වහන්සේගේ ආදරයෙන් පමණි. උන්වහන්සේගේ ආදරය හඳුනා නොගැනීම තමාව හඳුනා නොගැනීමකි. දෙවියන් වහන්සේව අත් නොදැකීම තමාව ගැඹුරින් අත් නොදැකීමකි.
දේව ආදරයෙන් පළා යෑම ජීවිතයෙන් පළා යෑමකි. ජීවිතයේ අභියෝගවලට මුහුණ නොදීමකි. භාගෙට, කාලට, අරික්කාලට ජීවත්වීමකි. දේව ආදරය තුළ යැපෙන්නේ නැති පුද්ගලයා පරිපූර්ණ ජීවිතයක් ගත නොකරයි. එවැන්නෙක් ජීවිතයේ සැබෑ අර්ථය, ගැඹුරුතම පරමාර්ථය සහ උත්තරීතර පරමානන්දය හඳුනාගෙන නොමැත. ක‍්‍රිස්තු උපත යනු, කොන්දේසි විරහිත ආදරය අප අතර මාංශගත වීමයි. උන්වහන්සේ තම ස්ථීර වාසස්ථානය අප අතර තනා ගැනීමයි.
දේව ආදරය අල්ප වශයෙන් හෝ අත්නොදකින පුද්ගලයාගේ ජීවිතය සම්පූර්ණයෙන් අර්ථ ශුන්‍යය. හිස් ය. බොල් ය. දෙවියන් වහන්සේව අත්නොදකින්නෝ වල්මත් වුවන්ය. මංමුළාවූවන්ය. තමාව මවා වදාළ මැවුම්කරුවාණන්ගේ කොන්දේසි විරහිත ආදරයේ ජීවමාන අත්දැකීමක් නොමැතිව මියයෑම, මෙලොව තුළ ලැබිය හැකි දරුණුතම ඛේදවාචකයයි, අසහනයයි, අසතුටයි, ගැඹුරුතම අර්ථ ශුන්‍යභාවය යි. දේව ආදරය යනු සදාකාලික ගංවතුරකි. එම ගංවතුරට අප කිසිසේත්ම බිය විය යුතු නැත.
අපට ගැළවීම ළඟාකර දෙන්නේ ආදරය යි. සැබෑ ගැළවීමට, විමුක්තියට පදනම වැටෙන්නේ අප පේ‍්‍රම කරන තරමටයි. අපට අපවම ගළවාගත නොහැකිය. සැබෑ විමුක්තිය මනුෂ්‍ය අරගලයේත්, දේව පේ‍්‍රමයේත් සුසංයෝගයකි. සංකලනයකි. සැබෑ පේ‍්‍රමයට එරෙහිව කරන ඕනෑම ක‍්‍රියාවක් පාපයකි. පාපය යනු පේ‍්‍රමයට අවස්ථාවක්, අවකාශයක් නොදීමයි.
අප සැබෑ කිතු අනුගාමිකයන් බවට පත්විමටත්, එතුමා ගැන තව තවත් අත්දැකිමටත් හැකි වනුයේ, දැනගත හැකි වනුයේත් එතුමාව අනුගමනය කිරීමේ ක‍්‍රියාවලිය තුළ ය.එතුමාගේ සැබෑ අනුගාමිකයෙකු බවට පත් නොවී, එතුමාව ගැඹුරින් තේරුම්ගත නොහැකිය. කිතු තුමාට අප ආදරය කරන ප‍්‍රමාණය අධික වන තරමට, එතුමා ගැන දැනගත හැකි ප‍්‍රමාණය ද අධික වේ. ජේසු තුමා ගැන දැනගැනීම යනු, එතුමාට කරන ආදරයයි. කිතු තුමාට ආදරය නොකර එතුමා ගැන අපට දැනගත නොහැකිය.
ඒ අනුව, එතුමා තුළ විශ්වාසය වගා කර නොගැනීම සැබෑ අන්ධභාවයයි.
කිතුණු විශ්වාසය කිසිසේත්ම අන්ධ නොවේ. අන්ධ වනුයේ අවිශ්වාසයයි.
එමෙන්ම කි‍්‍රස්තුස් වහන්සේගේ ඉගැන්වීම් අනුගමනය කිරීම පමණක් ප‍්‍රමාණවත් නොවේ. එතුමා මත පූර්ණ, පරිපූර්ණ, සම්පූර්ණ, පරම, උත්තරීතර විශ්වාසය (Pistis) තැබීම ද කිතුණු අනාවරණයේ පැතිකඩකි. එතුමාගේ ඉගැන්වීම් සහ ජීවිතය එකම යථාර්තයකි. ඒ දෙක කිසිසේත්ම වෙන් කළ නොහැකිය. ජේසුස් වහන්සේව තේරුම් ගැනීම යනු එතුමාගේ ඉගැන්වීම් තේරුම් ගැනීමයි. එතුමාගේ ඉගැන්වීම් තේරුම් ගැනීම යනු එතුමාව තේරුම් ගැනීමයි. පණිවුඩකරුවා සහ පණිවුඩය කිසිසේත්ම විසන්ධි කළ නොහැකිය. පණිවුඩකරුවා පණිවුඩයයි. පණිවුඩය පණිවුඩකරුවායි. කිතු තුමා යනු සමස්ථ කිතු දහමයි. එතුමාගේ සමස්ථ ජීවිතයම එතුමාගේ ප‍්‍රධාන පණිවුඩයයි.
(නොවෑම්බර් 30 දින, තේවත්ත ශු.බයිබලය හෑදෑරිමේ කණ්ඩායම විසින් බෑසිලිකා ජුබිලිශාලාවේ පෑවෑත්වු ආගමනයට සුදානම් විමෙ ඤානකාන්තියෙදි, ගරු මහාචාර්ය ඇන්ටන් මීමන මහතා විසින් ඉදිරිපත් කල දේශනාව ඈසුරෙන් උපුටා සකස් කරන ලදි.)
රංජන් ද මැල්
(අන්තර්ජාලිය සයිබ අවකාශය තුලත්, දේව වචනය මාංශගතකිරිමකි.)
No comments:
Post a Comment