Tuesday, March 4, 2014

චතාරිකය යනු පාස්කු මඟුලට සුදානම් වීමයි



 පාස්කුව යනු කිතුනුවන්ගේ මහා මංගල උළෙලයි. කිතු සමිඳුන් මරු පරදා උත්ථානය ලැබීම වත්මන් පාස්කුව තුළින් අපි සිහිපත් කරමු. චතාරිකය යනු පාස්කු උළෙලට සුදානම් වීමකි. මේ සඳහා අළු බදාදා සිට දින 40 ක කාලයක් ශුද්ධවු සභා මාතාව විසින් වෙන් කර දී තිබේ. මෙම කාලය තුළදී ක්‍රිස්තුන් වහන්සේගේ මහිමාන්විත උත්ථානය සැමරීම සඳහා කිතුනුවෝ පශ්චාත්තාපී ක්‍රියාවන් තුළින් සුදානම් වෙති.


චතාරිකය යන වචනයේ තේරුම කුමක්ද? අපේ පැරැන්නෝ චතාරිකය යනුවෙන් නොව කොරැස්මය යනුවෙන් ව්‍යවහාර කළහ. මීට අදාළ ලතින් වචනය වන ක්වඩ්රජෙසිමා  Quadragesima  දින 40 ක කාලය යන අරුත දනවයි. ඉතාලි භාෂාවෙන් මීට අදාල ක්වරේසීමා Quaresima යන වචනයෙන් කොරැස්මය යන වචනය අපේ පැරැන්නන් සාදා ගත් බව සිතිය හැකිය. ඉංග්‍රිසියෙන් මෙම කාලසීමාව (Lent)  ලෙන්ට් යනුවෙන් හැඳින්වේ.




චතාරිකය මෙවර ආරම්භ වුයේ පෙබරවාරි 5 දාට යෙදුණ අළු බදාදා යිනි. එසේ නම් චතාරිකය අවසාන වන්නේ කවදාද? මහ බ්‍රහස්පතින්දා,මහ සිකුරාදා, ආලෙලුයා සෙනසුරාදා ශුද්ධවු සතියේ ඉතා වැදගත් දින තුනම චතාරික සමයට අයත් බව බොහෝ කිතුනුවෝ ද සිතති. මෙය වැරදි නිගමනයකි. චතාරිකය අවසාන වන්නේ මහා බ්‍රහස්පතින්දා සවස සමිඳුන්ගේ අන්තිම රාත්‍රි භොජන පිළිවෙතේ දිව්‍ය  පුජා යාගයට පෙරාතුවය. මහා බ්‍රහස්පතින්දා සවස දිව්‍ය පුජා යාගය සමග පාස්කුව ඇරඹේ.

ක්‍රිස්තුන් වහන්සේ මරු පරදා උත්ථානය ලැබීම ඉරු දිනක සිදුවු බවට විශ්වාස කෙරේ. මුල් යුගයේදී කිතුනුවෝ සිකුරාදා, සෙනසුරාදා හා ඉරිදා දින තුන පමණක් සමරමින් උන්වහන්සේගේ මරණය හා උත්ථානය සිහිපත් කිරීමට පුරුදුව සිටියහ. එහෙත් පසුකාලීනව සමිඳුන් ජයෝත්සවයෙන් ජෙරුසලමට ඇතුළු වු පෙර ඉරිදා  (ගොබ් ඉරිදා) යින් ශුද්ධවු සතිය ආරම්භ කිරිමට පටන් ගත්හ. සමිඳුන්ගේ දුක් ප්‍රාප්තිය, මරණය හා උත්ථානය යන අපගේ විමුක්තිය උදෙසා එතුමන් කළ කී දෑ සියල්ල මෙම සතිය තුළ අපි සිහිපත් කරන්නෙමු.


චතාරිකය සඳහා දින 40 ක කාල සීමාවක් තීරණය වුයේ සිව්වන ශත වර්ෂයේදී පමණය. අදත් මෙම කාල සීමාව එපරිදිම යොදා ගනු ලැබේ. විශේෂයෙන් පශ්චාත්තාපී ක්‍රියා, මර්දන ක්‍රියා පාදනමස්කාරය ශුද්ධවු පැය ආදී භක්ති අභ්‍යාස, පසන්, ළතෝනි ගායනා මඟින් කිතුනුවෝ මෙම කාලසීමාවේදී සමිඳුන්ගේ දුක් ප්‍රාප්තියට වඩාත් සමීප වෙති. මෙරට කිතුනුවෝ හිනිදුම, තලවිල, අලගොල්ලෑව, ආදී කල්වාරි වෙත ගොස් භක්ති අභ්‍යාසවල යෙදෙති. මේවා ඉතා හොඳය. එහෙත් වඩාත් වැදගත් වන්නේ ජීවිතාදර්ශයෙන් කිතු සමිඳුන්ට සාක්ෂි දැරිම බව කිව යුතුය.  අප වෙනුවෙන් දුක් විඳි, මියැදුණ, මළවුන් ගෙන් උත්ථානය ලද සමිඳුන් දැන හඳුනා ගන්නට, එතුමන් අනුව යන්නට මේ සුදුසුම කාලයයි.

කැලිස්ටස් ජයමාන්න.


ලිපි පළකිරිම - රංජන් මැල්
අන්තර්ජාලිය සයිබ අවකාශය තුලත්, දේව වචනය මාංශගතකිරිමේ වෑයමකි. - 4 මාර්තු 2014.







3 comments:

  1. ඔබතුමාට හැකිනම් whit sunday සහ actention day යන දින දෙකේ සිංහල අර්ථය පහදා දෙන්න.

    ReplyDelete
    Replies
    1. Whit Sunday, also known as Pentecost Sunday, is a Christian festival that commemorates the descent of the Holy Spirit upon the apostles and other followers of Jesus Christ, as described in the New Testament of the Bible. It is observed on the seventh Sunday after Easter, and marks the end of the Easter season.

      The name "Whit Sunday" comes from the Old English word "whitsun," which means "white Sunday." This name is thought to derive from the tradition of baptizing new converts to the faith on this day, and the white garments that were worn to symbolize their purity.

      “Whit Sunday” සුදු ඉරිදා, පෙන්තකොස්ත ඉරිදා ලෙසද හැඳින්වේ.
      එය බයිබලයේ නව ගිවිසුමේ විස්තර කර ඇති පරිදි ප්‍රේරිතයන් සහ ජේසුස් ක්‍රිස්තුස්ගේ අනෙකුත් අනුගාමිකයන් මත ශුද්ධාත්මයාණන්වහන්සේගෙ පහළ වීම සිහිපත් කරන උතුම් මංගල දිනයයි.
      එය පාස්කු ඉරිදාට පසු හත්වන ඉරිදා දින සමරණු ලබන අතරම, එය පාස්කු සමයේ අවසානය ද සනිටුහන් කරයි.

      "Whit Sunday" යන නම පැමිණෙන්නේ පැරණි ඉංග්‍රීසි වචනය වන "whitsun" යන්නෙන් වන අතර එහි තේරුම "සුදු ඉරිදා" යන්නයි. මෙම නම මෙම දිනයේ ඇදහිල්ලට අලුතින් පරිවර්තනය වූවන් බව්තීස්ම කිරීමේ සම්ප්‍රදායෙන් සහ ඔවුන්ගේ පාරිශුද්ධභාවය සංකේතවත් කිරීම සඳහා පැළඳ සිටි සුදු ඇඳුම් වලින් උපුටා ගත් බව සැලකේ. - හර්ෂ බණ්ඩා​ර

      Delete
    2. Ascension Day is the 40th day of Easter. It occurs 39 days after Easter Sunday. it commemorates Jesus Christ's ascension into heaven, according to Christian belief.

      “අහස් නැගීමේ දිනය” යනු පාස්කු උත්සවයේ 40 වන දිනයයි.
      එය පාස්කු ඉරිදා සිට දින 39 කට පසුව සිදු වේ.
      එය ක්‍රිස්තියානි ඇදහිල්ලට අනුව උත්තාන වූ කිතු සමිදුන් ස්වර්ගයට වැඩම කිරීමේ දිනයයි.

      Delete