"විමුක්තියේ ජේසු"
(භාවානාත්මක පාස්කු රංගනය)
ජා-ඇළ, කණුවන, ශු.ජුසේ මුණී දේවස්ථානයේ මීසම්භාර පියතුමා වන ගරු ලෙස්ටර් නොනිස් පියතුමා අතුලු මිසම් ජනතාව සංවිධානය කරන "විමුක්තියේ ජේසු" නැමැති සාම්ප්‍රදායික ඓතිහාසික පාස්කු නාට්‍යය අප්‍රෙල් මස 13 වන ඉරුදින සවස 7.00 ට දේවස්ථාන එළිමහන් වේදිකාවේදී රංගගත කිරීමට සියළු කටයුතු සූදානම් කොට ඇති බව සතුටින් දන්වා සිටිමු.
ප්‍රවීණ කලා ශිල්පි රිචඞ් මානමුදලිගේ රචනයෙන් හා නිර්මාණනීය අධ්‍යක්ෂණයෙන් සැදුම් ලත් මෙම සම්ප්‍රදායික ආගමික සංස්කෘතිකතාවය කතෝලික ජනසන්නිවේදන කමිටුවේ අනුමැතිය ලැබ, අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ පැසසුමට ලක් වු නිර්මාණයකි.
250 ක පමණ රංගන ශිල්පීන් ශිල්පිනියන් ගේ රංගන දායකත්වය මෙම පාස්කු නාට්‍යය සඳහා යොදා ගන්නා අතර ප්‍රවීණ නාට්‍යය, ටෙලි නාට්‍යය ශිල්පීන් කිහිප දෙනෙකු ද මෙයට දායක වනු ඇත. ජේසු තුමන්ගේ චරිතය සඳහා රංගනයෙන් දායක වනුයේ ප්‍රවිණ රංගන ශිල්පී සංජීව උපේන්ද්‍ර මහතාය.
පුරා පැය 1 යි විනාඩි 25 පමණ කාලයක් පුරාවට එළිමහන් වේදිකාවක් තුළ අඛණ්ඩ ලෙස රංගනය වන මෙම පාස්කු රංගය සාම්ප්‍රාදායික පසන් ගැයුම් ද ඇතුළත් සංගීතමය ආරක් රැගත්, නූතන තාක්ෂණ ක්‍රමවේදයන්ද ඇතුළත්ව නිමවා ඇති බව සතුටින් දන්වා සිටිමු.
7000 ක පමණ ප්‍රෙක්ෂක ප්‍රමාණයක් මෙය නැරඹීම සඳහා පැමිණෙන බව අපේ විශ්වාසයයි. මෙවර පාස්කු දිනය නිමිත්තෙන් ලක්වාසී ජනතාවට මෙම රංගය දැක බලා ගැනීමේ අවකාශය සලසා දීම අපගේ බලාපොරොත්තුවයි.
සම්ප‍්‍රදාය ගුරුකොට සම්ප‍්‍ර‍්‍රදාය මුසු කර වේදිකා ගත වන්නට නියමිත මෙම පාස්කු දැක්මද ජා-ඇළ, කණුවන, ශු.ජුසේ මුණී දේවස්ථානයේ මීසම් ජනතාවට අලූත් අත්දැකිමක් වනු ඇත. පාස්කු සංස්කෘතියට අලූත් කඩඉමක් වනු ඇත. එහි ගුණ අගුණ කථා කිරිම පාස්කුවට ආදරය කරන කාගෙත් වගකිම වනු ඇත.
දේව රාජ්‍යයේ දොරටු විවර කළ ගැලවිමේ විමුක්තිදායකයාණෝ !
ඉපදුනේ ගව මඩුවක, හැදුනේ වැඩුනේ වඩු මඩුවක, පැටළුවේ අව නඩුවක, මියැදුනේ කුරුසියක.
උපතේදීම දුප්පතෙක්, අධ්‍යාත්මික දිළිඳුකම අගය කල කෙනෙක්. හිස තබන්නට තැනක් නැති මුත්, මුලූ මහත් සක්වලටම අයිතිය කීවෙක්.
දේව ගරු බිය ඇති යහපත් ජුදා ආගමිකයෙක්, මහත් වූ බැතියකින් හා අවබෝධයකින් වත් පිළිවෙත් හා නීති රීති අනුගමනය කළ මුත් ඇතැම් නීති රීතිවලට එරෙහි වූ අයෙක්, නීතිය සම්පූර්ණ කරන්නට පැමිණි බව පැවසූවෙක්.
සමාජයේ කොන් කරන ලද අය, පව්කරුවන්, රෝගීන්, විජාතිකයින් පිළිගත් කෙනෙක්, ඔවුන්ගේ පව් කමා කර සුව කර නිදහස් කළ කෙනෙක්.
ඇදහූ දෙවිඳු පේ‍්‍රමය තුළ කටයුතු කළ කෙනෙක්, සතුරන්ට පේ‍්‍රම කරන්න. එකට එක නොකරන්න. වෛර කරන්නන් උදෙසා යාඥා කරන්න ඉගැන්වූ කෙනෙක්. ජනතාව පීඩාවට පත් කරමින් දයාවෙන් තොරව පිට පොත්තට මුල් තැන දුන් ආගමික නායකයින් හා ඔවුන්ගේ ක‍්‍රියාවන් හෙලා දකිමින් අභියෝගයට ලක් කල කෙනෙක්.
බොහෝ වද දී මරනු ලැබුවද මරණය පරාජය කර සකල විශ්වයට උත්ථානයේ නව ජීවනයේ රහස ප‍්‍රකාශ කල කෙනෙක්.
උන්වහන්සේ ලියූ දෙයක් නැත. එහෙත් උන්වහන්සේ ගැන ලියැවුණු දෙයට සීමාවක් නැත.
අවුරුදු තුනකින් උන්වහන්සේගේ දේශනා නිමා විය. එහෙත් එහි හරයට කාලසීමාවක් නැත.
එතුමා මානව ඉතිහාසය නව මං ගැන්වූ සංධිස්ථානයකි. කාලයද යුගයද අද මනිනු ලබන්නේ උන්වහන්සේ කේන්ද්‍ර කරගෙනය.
ජේසුස් වහන්සේගේ මරණයට බලපෑ ආසන්නතම හේතුව අපට කිසිදා අමතක කල නොහැක. සැබවින්ම වැදගත් වන්නේ ‘‘උන්වහන්සේව මැරුවේ කෙසේද?’’ යන්න නොව ‘‘ඇයිද?’’ යන්නයි.
පේ‍්‍රමය, පිළිගැනීම, යුක්තිය හා සමාව දීම මත පදනම් වූත් සියලූ දේශපාලනික හා ආගමික මර්දන වලින් තොරවූත් සමාජයක් දෙවියන් වහන්සේ සැලසුම් කරන බව ජේසු සමිඳුන්ගේ පණිවුඩය විය.
සමාජයේ කොන් කෙරූවන් වැළඳ ගනීම, අසරණ, පීඩිත දිළිඳුන්ගේ පැත්ත ගැනීම, තරාතිරම් නොබලා මානව අයිතීන්, සමානාත්මතාවය, සාධාරණය ගැන කතා කිරීම හා ක‍්‍රියා කිරීම පරිසිවරුන්ට, නායක පූජකයන්ට හා ඔවුන්ගේ හිතෛශීන්ට අනුව ජේසු කල මහා පාප කර්මයකි. ජාති ද්‍රෝහි, දේව ද්‍රෝහි, අධිරාජ්‍ය විරෝධී ක‍්‍රියාවකි.
එලෙස ජේසුගේ මරණය දේව සැලැස්ම තුල එතුමා මුල පිරූ ජීවිත ක‍්‍රමයේ හා දේශනා කල පණිවුඩයේ ප‍්‍රතිඵලයකි. උන්වහන්සේ ප‍්‍රාර්ථනා කල සාමාජීය හා ආගමික විකල්ප සමාජයේ බහුතරයකට බලාපොරොත්තුවක් දුන් නමුදු එය මෙකල මෙන් එකලත් බොහෝ සෙයින් විප්ලවකාරී ක‍්‍රියාවක් විය. එම නිසා අධිරාජ්‍ය විරෝධී කැරලිකාරයෙකු ලෙස උන්වහන්සේට මරණීය දණ්ඩනය හිමි විය.
ජේසුස් වහන්සේ කුරුසියේ ඇණ ගසා මරා සොහොන්ගෙයි තැන්පත් කරනු ලැබුවද මරණයට උන්වහන්සේව යටපත් කරන්නට නොහැකි විය. දෙවි පියාණන් වහන්සේ උන්වහන්සේව මරණින් උත්ථාන කළසේක.
මෙලෙස ජේසූස් වහන්සේ මාර්ගය, සත්‍යයද, ජීවනයද බවට, විමුක්ති මාර්ගය බවට දෙවි පියාණන් වහන්සේ සහතික කළසේක.
උන්වහන්සේ දුක් විඳ, ජීවිතය පූජා කර අපට පෙන්වන්නේ මැරෙන හැටි නොව ජීවිතය ජයගත යුතු ආකාරයයි.
ජේසු සමිඳාණන් ප‍්‍රතික්ෂේප කරන ලද පුද්ගලයෙක් බවට පත්වීම කාටත් තේරුම් ගත හැකිය. එසේ ම උන්වහන්සේගේ නායකත්වය හා දර්ශනය තේරුම් නොගැනීමද තවත් සාධකයකි. එදා ජේසු සමිදාණන් ජීවත් වූ කාලය තුළ සමාජයේ නායකත්වය දැරූ අයගේ දෙබිඩි පිළිවෙත එතුමා හෙලා දැකීම නිසාද, එම නායකයන් උරණුවු බව නො රහසකි. එසේ ම ජේරුසලමේ පිහිටි දේව මාලිගාව යාචඤා ගෘහයක් කර ගන්නවා වෙනුවට සොරුන්ගේ ගෘහයක් කර ගැනීම නිසා ජේසු සමිඳාණන් එයට එරෙහිවීම නිසා ව්‍යාපාරික ජනතාව සමඟද ගැටුමකට මුල පිරීමෙන් ඔවුන් අනිවාර්යෙන්ම සමිඳුන් හා අමනාප විය. එය සමාජයේ මෙන් ම ආගමික ස්ථානයක සිදුවු දුෂණයට එරෙහිව යෑමකි.
එසේ ම සාමාන්‍ය ජනයාට ලබා දුන් නීති අර්ථ කථනයන්ට එරෙහිව යමින් ඔවුන් පීඩනයෙන් මුදවා ලීමට ජේසු සමිඳාණන් ගත් උත්සාහය නිසා නීතිඥයින්ගේ හා විනයධරයන්ගේ අභියෝගයටද උන්වහනසේ ලක් විය. එහි ප‍්‍රතිඵලය කිනම්ද ? සමාජීය පිළිගැනීමක් තිබු අයගේ උදහසට ලක්වීමය.
ජේසු සමිඳාණන්ව තව දුරටත් පවතින්නට ඉඩ දුනහොත් සමස්ත සමාජයේ ම කඩා වැටීම සිදුවනු ඇතැයි යන භීතිය හා රෝමයේ අධිරාජ්‍යයෙන් නිදහස ලබනවා වෙනුවට ඔවුන්ගේ ග‍්‍රහණයට තවත් දැඩිව අසුවේ යයි යන තත්වයන් ඉදිරියේ සමාජයෙන් තුරන් කළ යුතු කෙනෙක් වශයෙන් නම් කිරීමට තීරණය විය.
ඉහත සඳහන් කණ්ඩායම් එක්ව කළ කූමන්ත‍්‍රණය හේතුවෙන් උන්වහන්සේට මරණීය දණ්ඩනයකට යටත් කර ගැනීමට මාන බැලු බව පැහැදිලිය. මේ අනුව ජේසු සමිදාණන්ට හිමි වුනේ ඝාතන තීන්දුවකි. එය නිර්දෝෂි තැනැත්තෙකුට ලබා දුන් මරණීය දණ්ඩනයකි.
ජේසු සමිඳාණන් ලද කුරුසිගත මරණය අහම්බෙන් සිදුවුවක් නොවේ. එහෙත් එය දෙවියන් වහන්සේ දැන සිටියේය. දේව ඝාතනය මිනිස් විමුක්තිය සඳහා අවශ්‍ය වුයේ එය පේ‍්‍රමයේ කි‍්‍රයාවක් වන හෙයිනි. එනම් අන් අයගේ විමුක්තිය වෙනුවෙන් නිර්දෝෂ දිවියක් ගත කළ උන්වහන්සේගේ මරණය ඉතිහාසය පුරාම බලපෑම් ඇති කර තිබෙන බව පැහැදිලිය. එය මිනිස් අපගේ විමුක්තිය සඳහා අත්‍යවශ්‍ය එකක් බව පිළිගත යුතුය.
මෙම මරණය ගැන දෙවියන් වහන්සේ දැන සිටියත් එම මරණය සිදුවුනේ මිනිසාගේ ගැලවීම සඳහා මය. එනම් පාපය නිසා අගාදයට ඇද දමන සාධකවලට එරෙහිව කටයුතු කිරීමෙන් මිනිසාට විමුක්තිය හිමිකරදීමෙන්ය. එසේ පාපයේ බලවේග කි‍්‍රයාත්මක කරන අය එය අනුමත නොකරයි.
ජේසු සමිඳාණන් මෙලොවට පැමිණ මිනිස්කමට නව අර්ථ කථනයක් ලබා දෙමින් සමාජයේ පැවැති දුශිත තත්වයට එරෙහිව කටයුතු කළ නිසා ම උන්වහන්සේ ඝාතනයට ලක්වීම වැලැක්විය හැකි නොවීය. දෙවියන් වහන්සේ පවා තම පුත‍්‍රයාණන් ඒ වෙනුවෙන් එයට ඉඩ දුන්නේ එයින් සැමට යහපතක් උදාවන නිසා මය. එය "සත්‍යය" "යුක්තිය" ජය ගන්නට ඉඩ දීමයි.
එදා ජුදා සමාජය තුළ විද්‍යාමාන වු පාපිෂ්ඨ තත්වයට එරෙහිව යමින් නව සමාජ වටිනාකම් සමිඳුන් විසින් හඳුන්වා දීමේ පිළිවෙත එදා නායකත්වයේ සිටි අය තේරුම් ගත්තේ නැත. එදා සිටි නායකත්වය තමන්ගේ බලය සුරැකිව තබා ගනු වස් ජේසු සමිඳාණන්ව තේරුම් ගත්තේ තම බලයට එරෙහිව යන කෙනෙක් වශයෙනි.
මාක් සුවිශේෂයේ වාර්තා කර තිබෙන අන්දමට එතුමාගේ ආරම්භක තේමා දේශනය වුයේ "නියමිත මොහොත පරිපූර්ණ වී තිබෙ" දෙවියන් වහන්සේගේ රාජ්‍යය ආසන්නය: පසුතැවී සිත් හරවා ගෙන සුබ අස්න අදහා ගන්න යනුයි" (මාක් 1:15) ඒ අනුව එතුමාණන් තුළ ලෞකීක රාජ්‍යයක් ගොඩනැංවීමේ බලාපොරොත්තුවක් කිසි සේත් එයින් ඉඟි කළේ නැත. එහෙත් දේව රාජ්‍යය ගැන කළ ඉගැන්වීම් අනුව, එය මරණින් පසුව ලබා ගන්නා තත්වයක් නො වන බව නිතර පෙන්වා දුන්නේය. එම රාජ්‍යය මෙලොව තුළදී ම ආරම්භ කළ යුත්තක් බව පැහැදිලි කරනලදී. එහිදී විය යුත්තේ එම රාජ්‍යය තුළ මිනිසාව වහල් බවින් නිදහස් කිරීමත් විමුක්තිදායක කි‍්‍රයාවලියක් කරා මිනිසා යොමු කර ලීමත්ය. එසේ ම නිදහස් වන ජනතාව තුළින් සහෝදරාත්මක බවෙන් සැකසී යුක්ති ගරුක සමාජයක් සැකසීමට අඩිතාලම දැමීමක් අවැසිබවත් පෙන්වා දුනි.
එතුමාණන්ගේ උත්සාහය වුයේ මානව නිදුහසේ වැදගත්කම පෙන්වා දීමය. යුක්තිය සැමට අයිති දෙයක් බව වටහා දීමට මහත් වෙහෙසක් දැරීය. එතුමාණන්ගේ චර්යාව මෙන් ම ඉගැන්වීම් මඟින් ද ඉදිරිපත් කළේ දුගී” අසරණයන් ගොඩ නංවන විමුක්ති දායක දහමකි. සමාජයේ ඉහළ වැජඹෙන දුෂකයන්ගේ සාක්කුවට එතුමා වැටුනේ නැත. කිසිදු කෙනෙකුගේ වැරදි අනුමත කරන්නට පෙරමුණ ගත්තේද නැත.
එතුමාණන්ගේ කේන්ද්‍රිය ඉගැන්වීම වන "පේ‍්‍රමයේ දහම" එතුමාණන් දිවි ගෙවු සමයට පමණක් සීමා නොවන අදටත් හෙටටත් වලංගු සමාජ විප්ලවයකට තුඩු දෙන ආකාරයේ ප‍්‍රතිපදාවකි, ජීවන මාර්ගයකි. කිතුනුවන්ට පමණක් සීමා නො වන පොදුවේ මිනිස් සමාජයට ම වලංගුවන ශුභ ආරංචියකි. මෙම දහම කිතුනුවන් තම ජීවිතයෙන් පෙන්වා දෙමින් කි‍්‍රයාත්මක නො කරන්නේ නම් එය තම ආගමික ශාස්තෘවරයාව මහත් පාවාදීිමක් කරනාබව පෙන්වා දිය හැකිය. එසේ ජේසු සමිඳාණන් අනුව යන අයගේ් වගකීම වන්නේද ජේසු සමිඳාණන්ගේ දහම දේශපාලනය තුළ ආර්ථික සමාජය තුළ සකී‍්‍රය කරමින් අන් අයට ආදර්ශයක් වීමය.
කුරුසිපත්වු ජේසු සමිඳාණන් නිවැරදි කෙනෙකි, අහිංසක ප‍්‍රාණ පරිත්‍යාගවරයෙකි, පිලාත් උන්වහන්සේ නිර්දෝෂි බව අවස්ථා තුනක දීම දිටීය. (ලුක් 23:4,14, 22) එහෙත් නිදොස් කරන්නට පියවර ගැනීමට නො හැකි විය. නිදොස් බව සනාථ කිරීමට අවස්ථාව ලබා නොදුනි. මෙම නිදොස් භාවයට හෙරොද් (ලුක් 23:15) හා පසුතැවුණු සොරා (ලුක් 23:41) හා ශතාධිපතියාද (ලුක් 23:47) සාක්ෂි දරා තිබුණි. ඒවායින් පලක් නො වීිය. පවතින නීතියේ සාධාරණත්වයේ පිහිට නො ලබා දඩූවම් ලබන අය ලෝකය තුළ කොතරම් ඇත්ද? ඇත්ත බොරුව කරමින් නො එසේනම් බොරුව ඇත්ත කරමින් යුක්තිය පසිඳලීමට ඉඩ නො දී කටයුතු කරන අවස්ථාවන් එමටය. නිර්දෝෂී අයව අද සමාජය තුළ වරදකරුවන් බවට අප පත් කර නොමැතිද?
අද වැනි දිනක අපි මෙයාකාරයෙන් පාස්කු උත්සවය පවත්වන්නේ කිතුනු අපට එතුමාණන්ගෙන් පාඩමක් ඉගෙනීමටය. එනම් සත්‍යය වෙනුවෙන් දිවි ගෙවීමේදී යුක්තිය වෙනුවෙන් ජීවත්වීමේ දී මිනිස්කම නඟා සිටුවීමේ දී කුරුසිගත වීමේ පාඩමයි. කුරුසිය අපට අත් හැරිය නො හැකිය. ඒ නිසා ම උන්වහන්සේගේ ඉගැන්වීම වුයේ "කුරුසිය රැුගෙන මා පසුපස එන්න" යනුවෙනි. කුරුසිපත් වීමට අපටද කැඳවීමක් ලැබී ඇත. තවද කුරසි පත් නොවී කිතු දහමක් නොමැත. එතුමාණන්ගේ කුරුසිපත් මරණය මඟින් ලොවට දුක වේදනාව ගැන සැබෑ අරුතක් ඉදිරිපත් කර ඇත. එයම අපි ජීවිතයෙන් ලොවට ම පෙන්වමු.
මානව ඉතිහාසයේ සියලූ ලෝ වැසියන් කම්පාකළ බියකරු ම ඛේදවාචකයට මුහුණ දීමට නාසරත්හි ජේසුස් ක‍්‍රිස්තුන් වහන්සේට සිදු විය. පාස්කුව නමින් ප‍්‍රචලිතව ඇත්තේ මෙම දුක් පුවතයි.
කි‍්‍රස්තියානි ජනවන්දනා නාට්‍ය කලාව
ලෝක නාට්‍ය කලාවේ උපත දිග හැරෙන්නේ ග‍්‍රීක නාට්‍යයෙනිි. දියෝනිසුශ් නම් දෙවියන් වටා ගෙතුණු පුද පූජා මුල් කරගෙන ක‍්‍රි. පූ. 594 සිට ග‍්‍රීක නාට්‍ය කලාව උපත ලැබූ බව සඳහන් වේ.
මෙසේ ක‍්‍රමිකව වර්ධනය වූ ග‍්‍රීක පුද පූජා නාට්‍ය බටහිර නාට්‍ය කලාවේ තවත් ප‍්‍රභේදයක් වන කි‍්‍රස්තියානි ජනවන්දනා නාට්‍යට ද මුල පිරීය. පාස්කු නාට්‍යයේ ආරම්භය අවබෝධ කර ගත හැකි වන්නේ මධ්‍යකාලීන යුරෝපීය කි‍්‍රස්තියානි ජනවන්දනා නාට්‍ය පිළිබඳ අධ්‍යයනයක නියැලිමෙන්ය. මෙම කාල වකවානුව ක‍්‍රි. ව. 10 වන සියවසේ සිට ක‍්‍රි. ව. 15 වන සියවස දක්වා දිග හැරේ. මධ්‍යකාලීන යුරෝපීය නාට්‍ය කලාව ගත් කළ
කිතුනු ජනවන්දනා නාට්‍ය : (Christian Liturgical Plays)
අභිරහස් හෙවත් මිස්ටරි නාට්‍ය : (Mystery Plays)
ප්‍රාතිහාර්ය විෂයක හෙවත් මිරකල් නාට්‍යය : (Miracle Plays)
සහ සදාචාර හෙවත් මොරැලිටි : (Morality Play) වශයෙන් නාට්‍ය වර්ග 4 කට මූලිකව බෙදීය හැකිය.
බටහිර ග‍්‍රීක නාට්‍ය කලාවේ පමණක් නොව භාරතීය හා චීන නාට්‍ය මෙන්ම සිංහල නාට්‍යයේ ද ප‍්‍රභවයට මුල් වූ ආගමික වත් පිළිවෙත් හා පොදු ජනතාවගේ ඇදහිලි හා පුද පූජා යුරෝපීය නාට්‍ය කලාවේ උපතට පදනම් වූ බව සඳහන් වේ. මධ්‍යකාලීන යුරෝපීය ජනවන්දනා නාට්‍යයේ ප‍්‍රභවයට මූල බීජය වපුරවමින් ප‍්‍රථම වරට දිව්‍ය පූජාවට නාට්‍ය ගුණයෙන් අනූන වූ නිරූපිත ජවනිකාවක් එක් කරනු ලැබුවේ දහවන ශතවර්ෂයේ දී ය.
මධ්‍යකාලීන කිතුනු ජනවන්දනාවට අයත් ඉපැරණිතම නාට්‍ය වන මෙය පාස්කු දිව්‍ය පූජා යාගයෙහි : (Mass of Easter) නිරූපිත වූවකි. එහි අත් පිටපතක් සාන්ත ගෝල් :( St.Gall) තාපසාරාමයෙහි හමුවේ.
ලෝක පාස්කු නාට්‍යයේ ආරම්භය
ක‍්‍රිස්තියානි ආගම පිළිගත් මුල් අවධියේ පල්ලිය තුළ නාට්‍ය කලාව වෙනුවෙන් පැවතියේ ප‍්‍රබල විරෝධයකි. නාට්‍ය කලාව තහනම් වීම එහි ප‍්‍රතිඵලය විය. රෝම නාට්‍ය කලාවේ විශුකදර්ශන සදාචාර විරෝධි නාට්‍ය ලෙස කතෝලික ශාසනයේ මුල් සභා පියවරු විසින් හැඳින්වූ අතර ඔවුන් එම නාට්‍ය ශාලාව හැඳින්වූයේ අනංගයාගේ දේවාලය යනුවෙනි.
මෙම අවධිය වන විට කතෝලික පූජකවරුන් ආගම ව්‍යාප්ත කිරීමෙහිලා දැඩි ප‍්‍රයත්නයක් දැරූහ. මෙසේ පල්ලිය විසින් නාට්‍ය කලාව තහනම් කර තිබුණ ද පොදු ජනයා අතර පැවති නාට්‍ය භාවිතය මකාලන්නට තරම් පල්ලියට හැකියාවක් නොලැබුණි. එම නිසා නාට්‍ය කලාව අරඹයා ජනයා තුළ පැවැති උද්යෝගය තම ආගම ප‍්‍රචාරය කිරීමේ උපක‍්‍රමයක් ලෙස යොදා ගැනීමට පූජකවරු කටයුතු කළහ. පල්ලියේ පැවැත්වෙන පූජා කටයුතුවලට ජේසු ස්වාමි දරුවන්ගේ ජීවිතයට අදාළ වූ කොටස් නාට්‍යාකාරයෙන් රංගනය කිරීම එහි ප‍්‍රතිඵලය විය. මෙසේ පල්ලිය ආශ‍්‍රිතව නාට්‍ය කලාවක් බිහි නොවූයේ නම් අද පවතින පාස්කු නාට්‍ය කලාව ද බිහි නොවන්නට ඉඩ ප‍්‍රස්ථාව තිබුණි. තව ද මධ්‍යකාලීන යුගයේ යුරෝපයේ ප‍්‍රචලිත ව තිබූ ජනවන්දනා නාට්‍ය : ( Christian Liturgical Plays) විශේෂය ද පාස්කු නාට්‍ය වර්ධනය වීමෙහිලා ඍජුව බලපා ඇත. ජනවන්දනා නාට්‍ය සඳහා පදනම් වූයේ කතෝලික ආගම හා සම්බන්ධ කථාවස්තු ය.
පල්ලිය ආශ‍්‍රයෙන් බිහි වූ මෙම ජනවන්දනා නාට්‍ය ක‍්‍රමිකව වර්ධනය වීමත් සමඟම පාස්කු-දුක්ප‍්‍රාප්ති නාට්‍ය ආරම්භ වීය. 1634 දී ආරම්භ වූ ජර්මනියේ ‘ඔබර් අමගවූ’ පාස්කු-දුක්ප‍්‍රාප්ති නාට්‍යය ‘බ්ලැක් ඩෙත්’ නමැති මහාමාරිය වසන්ගතයට ගොදුරු වූ ජනතාව ඉන් බේරා ගැනිම සඳහා එහි ගම් වැසියෝ දෙවියන්ට බාරයක් වීමේ ප‍්‍රතිඵලයකි. 1634 සිට සෑම දස වසරකට වරක් අද දක්වා ‘ඔබර් අමගවූ’ පාස්කු-දුක්ප‍්‍රාප්ති නාට්‍යය වේදිකාගත වීම එහි විශේෂත්වයයි.
ලාංකේය කිතුනු නාට්‍ය කලාව
ලාංකේය නාට්‍ය කලාවේ පෝෂණයට කිතුනු නාට්‍ය කලාව දායක විය. 17 වන සියවසේ සිටි පෘතුගීසී ධර්මදුත පියතුමන්ලා විසින් රචනා කරන ලදැයි සිතිය හැකි පාස්කු නාට්‍යවල අත්පිටපත් කිහිපයක් ශේෂව තිබුණි. ලංකාවට පැමිණි ධර්මදුත පූජකවරු මෙම අත්පිටපත් වල අභාසය ලබන්නට ඇත. 17 වන සියවසේ ෆැන්සිස්කාන නිකායේ අන්තෝනියෝ පෙයිශෝතු පියතුමා මීට නිදසුනකි. මෙතුමා 1609 දී මාතර කොටවත දෙව්මැදුරේ කිතුනු නාට්‍යයක් රඟ දක්වා ඇත. එවකට මෙරට පැවති විවාහ ක‍්‍රමයක් වූ එකගෙයි කෑම : ( Polygamy ) සදාචාරාත්මක නොවන බව පෙන්වීමට මෙම නාට්‍ය ලියා ඇත්තේ "ස්නාවක ජුවාම් තුමාගේ ප‍්‍රණ පරිත්‍යාගය" නම් වූ තේමාව මූල් කර ගනිමින්ය.
1602 දී ජේසු නිකායික පියතුමන්ලා විසින් නිර්මාණය කළ නාට්‍යක් රඟ දක්වා ඇත්තේ කොළඹ ජේසු නිකායික ගෘහයේ පැවති නාට්‍ය පාසලේ දීය. මෙම නාට්‍ය දියෝගා් ද කූඤ්ඤ පියතුමා විසින් නිරිමාණය කළ බව සඳහන් වේ. මෙය ලාංකේය කිතුනු ජනවන්දනා නාට්‍යයේ පැරැණිම රංගනය ලෙස සඳහන් වේ.
18 වන ශතවර්ෂයේ දි ඔරතෝරියානු නිකායේ ජකෝමේ ගොන්සාල්වෙස් පියතුමාගේ මුලිකත්වයෙන් ලාංකේය පාස්කු නාට්‍ය කලාව තව දුරටත් වර්ධනය විය. 1743 දි කම්මල හෙවත් බෝලවත්ත දේවස්ථානයේ පැවති පාස්කු නාට්‍ය සංදර්ශනය එතුමා විසින් රචිත දුඛප‍්‍රාප්ති ප‍්‍රසංගය සහ දේශනා නවයේ පසන් පොත ඇසුරින් නිර්මාණය වූවකි.
19 වන සියවසේ දි මන්නාරම පේසාලේ රූකඩ සුරුවම් පාස්කු නාට්‍ය සංදර්ශනය වූයේ ස්ථාවර පාස්කු මණ්ඩපයක් මතය.
1923 දි බොරලැස්ස පාස්කු නට්‍ය ආරම්භ විය. එය 1934 දි ආරම්භ වූ ජර්මනියේ ඔබර් අමගව් පාස්කු නාට්‍යයෙන් ආභාසය ලැබීය. බොරලැස්ස පාස්කු නට්‍යයේ රචනය හා නිෂ්පාදනය කේ. ලොරන්ස් පෙරේරා මහතාගේය. ඔබර් අමගව් පාස්කු නාට්‍ය 1921 දී ඔහු ජර්මන් රටේ දී නරඹා තිබුණු අතර එය ජීවමාන නළු නිළියන් මගින් රඟ දක්වන ලදී. එවකට දේශිය පාස්කු නාට්‍ය රග දක්වනු ලැබූවේ සුරුවම් හා ප‍්‍රතිමා මුල් කරගෙනයග ලොරන්ස් පෙරේරා මහතා ජීවමාන නළුවන් යොදාගෙන පළමුවරට පාස්කු නාට්‍ය රඟ දක්වන්නට විය. 1923 සිට 1939 දක්වා බොරලැස්ස පාස්කු නට්‍ය ශි‍්‍රධර නාට්‍ය සංගමය මගින් වේදිකා ගත විය. 1939 දි ලංකා කතෝලික සභාව විසින් බොරලැස්ස පාස්කු නාට්‍ය තහනම් කරන ලදී. එසේ කළේ කාන්තා චරිත සඳහා ජීවමාන නිළියන් යොදා ගැනීම නිසාය.
මීගමුවේ දුව සහ පිටිපන, මග්ගොන, පයාගල, වාද්දුව, මොරටුව, මෙන්ම යාපනය ආදි ප‍්‍රදේශයන් පාස්කු නාට්‍ය කලාවේ තෝතැන්නක් විය.
සිරිලක් ඉතිහාසය ගැන බලනවිට 1764 විලියම් පොක් ලන්දේසි ආණ්ඩුකාරයගේ අණසකින් පැමිණි හමුදා නිලධාරින් පිටිපන පාස්කු නට්‍යය වරෙක තහනම් කළ බවද එයට තහන්චි පැනවු බවද ඉතිහාසය සාක්ෂි දරයි. 80 දශකයේ මුල් භාගයේ මහචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන් පිටිපන දුව පාස්කු ජර්මනියේ ඔබර් අමර්ගෝ නාට්‍යයට සමකලහ.
ගම්මානයක් ලෙස පාස්කුවට සම්මාදම් විම හරිම අපුර්ව අත්දැකිමකි. අදටත් චතාරික දින හතළිහ තුල සම්ප‍්‍රදායික පාස්කු ගම්මාන, චතාරික වත්පිළිවෙත් ඉත සිතින් වැළද ගනියි. එය තම ජීවිතය කරගනියි, දින හතළිහ එක්වරු ශිලය රක්ෂා කරන සැදැහැවතුන් මෙන්ම, මස්, මාළු, කරවල පමණක් නොව සියළුම අශා වලින් දුරස්ව ධ්‍යානයකට සමවැදි සිටින පාස්කු නාට්‍යය ශිල්පින් අදටත් මෙන්ම නෙක සිරිලක පාස්කු සම්ප‍්‍රදායික ගම්මානවල වෙසෙති.
මාස ගනනක් මුළුල්ලේ කි‍්‍රස්තු චරිතය රඟපාන එයට පේවි තම සුචරිතය වඩවන දැහැමි ජවිත ගෙවන සැදැහවත් ශිිිිල්පින් අප හදුනති.
ඉපැරණි පාස්කු ඉතිහාසය සනිටුහන් කරන පාස්කු මණ්ඩප සිරිලක ඇත්තේ අතළොස්සකි. ඉන් පිටිපන සහ පමුණුගම පාස්කු මණ්ඩප කැපීපෙනෙයි. එදා අර්ථවත් පාස්කු චරිතය ඇතුළු සියළුම චරිත වේදිකාගත වුයේ රූකඩ හෝ ප‍්‍රතිමා රූප භාවිතයෙනි.
තාත්විකත්වය නිරූපිත මෙම පිළිමවල සජීවි බවල එය නිමවන කලාකරුවගේ කුසලතාවය මොනවට කියාපායිද. කාලයාගේ ඇවැමෙන් චරිත බොහොමයක් පණපොවන්නට ශිල්පින්ට හැකි වුවද, කි‍්‍රස්තු චරිතය සහ දෙව්මව් චරිතය එලෙසම රූකඩ හෝ පිළිම භාවිතයෙන් වේදිකාගත විය.
ගොබ්ඉරිදාවෙන් පටන් ගෙන පාස්කු ඉරිදා දක්වා දින හතරක් මුළුල්ලේ මෙකී පාස්කුව වේදිකාගත විය.
මුහුදු බඩ ප‍්‍රදේශ ආශි‍්‍රතව ස්ථාන කීපයක් තෝරාගෙන සීමොන් සිරිනෙවුස් දර්ශනය. වෙරෝනිකා ස්ති‍්‍ර මුණ ගැසිම, තුන්වරක් කි‍්‍රස්තුන් වහන්සේ කුරුසිය බරින් බිම වැටිම වැනි දර්ශන රංගගතවිම චමත්කාර ජනකව සිදුවිය. එය වචනයේ පරිසමාප්ත අරුතින්ම භක්ති අභ්‍යාසයක් විය.
විදුලිබලය නොතිබු එම යුගයේ පන්දම් පත්තුකරගන්මින් දේවස්ථාන අවට පසන් ලතෝනි ගී ගායනය රැව්පිළි රැව් දෙයි. පසුකාලිනව කි‍්‍රස්තු චරිතය සහ මරියතුමිය චරිතද මිනිසුන් විසින් රඟදක්වන්නට යෙදුන අතර ඒවා පාස්කු ඉකිහාසයේ කඩඉම් ලෙස සටහන් කල හැකිය.
වත්මනේ මීගමු පරවරයේ නළුනිළියන් රාශියක් කැටුව සිදුකරන පාස්කු නාට්‍යයන් කීපයක්ම අපට අසන්නට ලෑබේ. ඉන් ප‍්‍රමුඛව දැකිය හැකි නාට්‍ය අතර රිචඩ්මානමුදලි ශිල්පියා සහ පීටර් වෙලඹ ශිල්පියාගේ පාස්කු නාට්‍යයන් කැපි පෙනෙයි.
පොත පත අසුරෙන් සකස් කරන ලදි.
රන්ජන් ද මෙල් - කනුවන.
No comments:
Post a Comment