සාමාන්‍ය සමයේ සතරවන ඉරුදින - ( 2-පෙබරවාරි '14 )
අදදින ශුද්ධවූ සුවිශේෂය තුළ ජේසු බිළිඳුන් දේවමාළිගාවේ දී ඔප්පුකිරිමේ සිද්ධිය අපට ගෙනහැර දක්වයි. එලෙසම පළමුකියවීම තුළ ස්වාමීන් වහන්සේගේ පැමිණීමේ දවසේදී ඔවුන්වහන්සේ රන්කරුවෙකුගේ ගින්නමෙන් අපුල්ලන්නකුගේ සබන්මෙන් අප නුසුදුසුකම් පවිත‍්‍ර කරන බව පවසයි.
දෙවනකියවීම තුළ අපට දෙන පණිවුඩය වනුයේ ජේසුස් ස්වාමීන් වහන්සේ මනුෂ්‍යයකු වීම තුළ සියලූ පරීක්‍ෂා හා දුක්වේදනාවලට මුහුණදුන් බැවින් අපගේ පරීක්‍ෂා වලදී අපට සරණය වීමට ඔවුන්වහන්සේට පිළිවන් බවය.
අප වඩාත් ආදරයකරන, ඇළුම් කරන පුද්ගලයන් හෝ දේවල් අපෙන් ඉවතට යනවාට වඩා අප අසළම තබා ගැනීමට අපි මහත්සේ ආශාකරන්නෙමු. එනමුත් අද සුපුවත අපට අභියෝගයක් එල්ල කරයි. එනම් සුවිශේෂයේ සඳහන්වන "හැම කුළුදුල් පිරිමි දරුවෙක් ම ස්වාමීන්වහන්සේට කැපය." (ශු. ලූක් 2:23)යන පාඨය තුළින් අපගේ ජීවිතයේ වටිනාමදෙය ස්වාමීන්වහන්සේට ඔප්පුකිරිමට අපට ඇරියුම්කරයි.
උත්පත්ති කතාවේ එන ආබෙල් සියබැටළු රැළේ කුළුඳුල් වැටවුන් ගෙන් සමහරෙක් ද ඔවුන්ගේ හොඳම කොටස් ද ස්වාමීන්වහන්සේට පූජාකිරීම තුළ ආබෙල් ස්වාමීන්වහන්සේට ප‍්‍රසන්නවූ සේක. (උත්පත්ති 4:4) බලන්න. එසේම ස්වාමීන්වහන්සේ අපගේජීවිත සිද්ධීන් තුළ අප අතරට වැඩම කරනසේක. එම සිද්ධීන් තුළ ස්වාමීන්වහන්සේගේ වැඩසිටීම අත්දැකීම සඳහා ඔවුන්වහන්සේ විසින්ම අප හදවත්පවිත‍්‍ර කරනසේක.
ඔවුන් වහන්සේ රන්කරුවෙකුගේ ගින්න මෙන්ද අපුල්ලන්නෙකුගේ සබන්මෙන් ද වනබව පළමු කියවීමේ සඳහන්වන එම පාඨය තුළින් ගම්‍යමාන වනුයේ වේදනාකාරීවු දුෂ්කර අත්දැකීම් තුළින් පවා ඔවුන්වහන්සේ අපව හික්මවන බවයි. එසේ අපව පවිත්‍ර කිරීම තුළ ස්වාමීන්වහන්සේට ප‍්‍රසන්න පඩුරක් ලෙස අපවම ඔවුන්වහන්සේට ඔප්පු කළහැකි බව අපට පසන්කරදෙයි. ජේසුස් ස්වාමීන්වහන්සේ අප හා සමාන මනුකයක් ගැනීම නිසා මනුෂ්‍යයන් ලෙස අප මුහුණදෙන සෑම අත්දැකීමක්ම ඔවුන්වහන්සේ හොඳාකාරව දන්නා සේක.
එබැවින් අපේ දුක්කරදර හා ප‍්‍රශ්න හමුවේ ඔවුන්වහන්සේ අපව අත්නාරින සේක. මෙලොවජීවිත ගමන තුළ පුද්ගලයන් හෝ වස්තූන්කෙරෙහි අප ඇතිකර ගන්නා බැඳිම් නැති වී යනවිට අප බලවත්සේ කනස්සල්ලට පත්වන්නෙමු. අප නැවත කෙසේ හෝ එම වස්තූන් අපවෙත ළං කර ගැනීමට වෙරදරන්නෙමු. එහෙත් අද දේව වචනය තුළ ස්වාමීන්වහන්සේ අපට ආරාධනාකරනුයේ අපගේජීවිතයේ හොඳම දෙය ඔවුන්වහන්සේට පුදකරන ලෙසය. බොහෝ වේලාවට අප සතු වැඩිපුරදේ නැතහොත් අනවශ්‍යදේ එසේනැතහොත් පහසුවෙන් ඔප්පු කළහැකිදේ ස්වාමීන්වහන්සේට ඔප්පුකිරීම තුළඅපට ගැළවීම ලැබිය හැකිබව අපිවිශ්වාස කරමු. එනමුත් අප යමක් ඔප්පු කරන විට එය අපේ හදවතට රිදෙන ලෙස නොදැනේනම් එය නියම පරිත්‍යාගයක් නොවේ.
ඒ අනුව ස්වාමිපුරුෂයෙකු ලෙසහෝ භාර්යාවක ලෙස, දෙමාපියන් ලෙස හෝ දරුවන් ලෙස පූජකතුමකු පැවිදිවරයෙකු හෝ පැවිදිවරියක ලෙස අප බොහෝ ඇළුම් කරන අපගේ වටිනාම වස්තුව සමිඳුන්ට මුළු හදවතින්ම පුදන්නට අප සූදානම් දැයි ගැඹුරින් මෙනෙහි කරමු.
ගරු රවින් සඳසිරි පියතුමා අතුලු දේව වචනය බෙදා ගන්නා ගරු පියතුමන්ලාගේ සාකච්චාව ඇසුරිණි.
ලිපි පළකිරිම - රංජන් ද මැල්.
( අන්තර්ජාලිය සයිබ අවකාශය තුලත්, දේව වචනය මාංශගතකිරිමකි)
No comments:
Post a Comment