Saturday, February 22, 2014

එකට එක කරන්නේ කව්රු කියලා හිතාගෙනද?


සාමාන්‍ය සමයේ සත්වැනි ඉරුදින,  පෙබරවාරි 23 ඉරිදා


මතෙව් 5 : 38 - 48

අද සුවිශේෂයෙන් ජේසු සමිඳුන් කියන්නට උත්සාහ කරන්නේ මොනම අවස්ථාවකදීවත් එකට එක කිරීම නොකළ යුතු දෙයක් බවය. ඊට උදාහරණ කිහිපයක් ලෙෂ උන්වහන්සේ තමන්ගේ කම්මුලට පහරදෙන කෙනෙකුට කළයුතු දෙයද තමන්ගේ කමිසයට නඩු කියන කෙනෙකුට කළයුතු දෙයද බලහත්කාරයෙන් තමන්ගෙන් වැඩ ගන්න කෙනෙකුට කිවයුතු දෙයද අපට කියයි. මේ දේවල් ඇසෙන විට අපට හිතෙන්නේ ජේසු සමිඳුන් අපට කියන්නේ නිවටයන් මෙන් කරබාගෙන හැමෝගෙන්ම පීඩා විදින්න කියා කියන බවය. උන්වහන්සේ කියන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් දෙයකි. උන්වහන්සේ කියන්නේ මිනිසුන් සමග කී‍්‍රඩාකිරීමද තරග කිරිමද වාදවිවාද කිරිමද හොඳ දෙයක් වූවද සාතන් සමග සෙල්ලම් කිරීමට මොනම විධියකින්වත් ඉදිරිපත් නොවිය යුතු බවය. එකට එක කිරීම කා සමග කළද අන්තීමට එය කර ඇත්තේ එකම එක්කෙනෙකු සමගය. 




Friday, February 14, 2014

ඔබ දසපණත් කීයක් කඩනවද?


සාමාන්‍ය සමයේ හයවැනි ඉරුදින, පෙබරවාරි 16 ඉරිදා

මතෙව් 5:17:37

අද සුවිශේෂයට කන්දඋඩ දේශනාව යයිකීම හරිය. එහෙත් බැලූ බැල්මට නොපෙනුනද මෙය වෙන කන්දක දෙවියන්වහන්සේ කළ පරණ දේශනාවකට අටුවාටිකාවකි. මෝසෙස්ට දෙවියන්වහන්සේ දසපණත දුන්නේ සීනයි කන්දේදීය. දෙවියන්වහන්සේ දසපණත ගල් පුවරුවක ලියා මෝසෙස්ගේ අතට දෙන්නට පෙර ඔහු සමග දවස් 40 ක් එකදිගට කතාකරකර සිටියේය.

ජේසු සමිඳුන් අද කන්දඋඩ දේශනාව පටන් ගන්නේ සීනයි කන්දේදී තාත්තා මෝසෙස්ට දුන් දේශනාවේ කටුසටහන හිතේ තියාගෙනය. එය ජෙරුසලමේ දේවමාලිගාවේ ගිවිසුම් කරඬුවේ තිබුනද ගල් ලෑලි දෙකේ තාත්තා ලියූදේවල් ඉතාකෙටියෙන් ලියා ඇති නිසා දේවමාලිගාවේ සිටිය අයටවත් ඒවා හරියට තේරුම් ගොස් තිබුණේ නැත. ජේසු සමිඳුන් අද පණතින් පණත මේ පණත්දහය ජනතාවට ගැඹුරින්පහදාදෙයි. උන්වහන්සේ ආවේ දසපණත අවලංගු කිරීමට නොව එය වඩාත් පැහැදිළිව කියා දීමටබව අන්තිමේදී කාටත්තේරුණි.

Saturday, February 8, 2014

ආලෝකයේ දරුවන් වීමට නම්...............


සාමාන්‍ය සමයේ පස්වන ඉරුදින

කි‍්‍රස්තුන්වහන්සේ යනු අප සැමගේ ආලෝකයි. ජේසුස්වහන්සේ, ඔවුන්වහන්සේගේ කුරුසියේ යාගය මගින් සකල මනුෂ්‍යයන් වෙත ආලෝකයේ රශ්මි දහර විහිදුවා ඔවුන් වහන්සෙගේ අනුගාමිකයන් වන අප සැමටත් අන් අය උදෙසා ආලෝකය විහිදුවා ලන පහන්රුකක් වන්නට සුපුවත තුළින් ආරාධනාකරයි.

ආලෝකයයනු අඳුරේ විරුද්ධාර්ථයයි. මිනිසායනු තාපයකරා ඇදී යන සරල වශයෙන් කිවහොත් කෘමියෙකු ඉටිපහනක් දෙසට ආලෝකය සහ උණුසුම සොයා ඇදෙන්නාසේ අපිදු පාපය නමැති අන්ධකාරයේ මායාව වෙත ඉතා උද්යෝගයෙන් ආකර්ෂණය වේ. විටෙක එය අපගේ ස්වභාවය ලෙස අර්ථකථනය කරයි. එනමුදු එය සැබෑවක් නොවේ. සැබෑ යථාර්ථය නම් අපි අන්ධකාරයේ දරුවන් නොව ආලෝකයේ දේවදරුවන් බවයි. දෙවියන්වහන්සේ අපව මවා ඇත්තේ ඔවුන් වහන්සේගේම උතුම් ස්වභාවයට අනුවයි. (උත්පත්ති 1:27) එය සැබෑ සත්‍යවේ. එසේ නම් අපි ආලෝකය තුළ සැරිසරනවා යන්නෙන් අදහස්කරනු ලබන්නේමෙම දේව ස්වභාවය අප තුළ අත්දැකීමයි. එහෙත් අපි බොහෝ විට මෙම දේව ස්වභාවය අප තුළ අත් දකින්නට අපොහොසත්වී ඇත. අපි පාපය නමැති බඳුනෙන් මෙම දේව ස්වභාවය අප තුළ සඟවාගෙන ඇත. එම නිසා මෙම දේව ස්වභාවය නමැති ආලෝකය අන්අය වෙත විහිදුවාලන්නට අපට නොහැකි වී තිබේ.



Saturday, February 1, 2014

අපගේ වටිනාම වස්තුව පුදදෙමු සමිඳුට...........

බිළිඳු ජේසු සමිඳුන් පුදදුන් මංගල්‍යය හෙවත් කානික්ක මංගල්‍යය,

සාමාන්‍ය සමයේ සතරවන ඉරුදින -  ( 2-පෙබරවාරි '14 )

අදදින ශුද්ධවූ සුවිශේෂය තුළ ජේසු බිළිඳුන් දේවමාළිගාවේ දී ඔප්පුකිරිමේ සිද්ධිය අපට ගෙනහැර දක්වයි. එලෙසම පළමුකියවීම  තුළ ස්වාමීන් වහන්සේගේ පැමිණීමේ දවසේදී ඔවුන්වහන්සේ රන්කරුවෙකුගේ ගින්නමෙන් අපුල්ලන්නකුගේ සබන්මෙන් අප නුසුදුසුකම් පවිත‍්‍ර කරන බව පවසයි. 

දෙවනකියවීම තුළ අපට දෙන පණිවුඩය වනුයේ ජේසුස් ස්වාමීන් වහන්සේ මනුෂ්‍යයකු වීම තුළ සියලූ පරීක්‍ෂා හා දුක්වේදනාවලට මුහුණදුන් බැවින් අපගේ පරීක්‍ෂා වලදී අපට සරණය වීමට ඔවුන්වහන්සේට පිළිවන් බවය.

අප වඩාත් ආදරයකරන, ඇළුම් කරන පුද්ගලයන් හෝ දේවල් අපෙන් ඉවතට යනවාට වඩා අප අසළම තබා ගැනීමට අපි මහත්සේ ආශාකරන්නෙමු. එනමුත් අද සුපුවත අපට අභියෝගයක් එල්ල කරයි. එනම් සුවිශේෂයේ සඳහන්වන "හැම කුළුදුල් පිරිමි දරුවෙක් ම ස්වාමීන්වහන්සේ කැපය." (ශු. ලූක් 2:23)යන පාඨය තුළින් අපගේ ජීවිතයේ වටිනාමදෙය ස්වාමීන්වහන්සේට ඔප්පුකිරිමට අපට ඇරියුම්කරයි.