මතෙව් 17:1-9 - මාර්තු 16 වන ඉරිදා
තාබෝර් කන්දට අද ජේසු සමිදුන් නගින්නේ තාත්තා සමග කතා කරන්නටය. වෙනදා ? එළිවෙනකම් තමා සමග කතාකරන තාත්තා අද කන්දට ආවේ තවත් අමුත්තන් දෙදෙනෙකුද සමගය. තමන්ට හැගෙනදේ ඒ මොහොතේම කෙලින්ම කීමට පුළුවන්කම තිබියදි පරණ දිවැසිවරු දෙදෙනෙකු සමග තාත්තා පුතාට කතා කරන්නට ඒමෙන් සිදුවුදේ ගැන යළි යළිත් සිතන්නට ජේසු සමිදුන් පෙළඹුනා.
දෙවියන්වහන්සේ දිවැසිවරු මගින් කතා කළ යුගය අවසන් බව උන්වහන්සේටද සිතී තිබුනි. එහෙත් තාබෝර් කන්දේදි මේසිතිවිල්ල මුලුමනින්ම වෙනස්විය. පරණ දිවැසිවරයකුට පවා උන්වහන්සේට කීමට අලූත්දෙයක් තිබෙයි. දෙවියන්වහන්සේගේ ඇස්පනාපිට මොසෙස් සහ එළියා යන දෙදෙනාටම ජේසු සමිදුන්ට කීමට දෙයක් තිබෙයි. තාබෝර් කන්දේ ජේසු සමිදුන් කරන්නේ කතා කරනවාටත් වඩා ඔවුන්ට සවන්දෙන එකයි. පුතාට මෝසෙස් කියන දේවල්ද එළියා කියන දේවල්ද කියා අවසන්වන තුරු තාත්තාද කට පියාගෙන සිටියේය. ඒ තරමට තාත්තාද පුතාද දෙදෙනාම තවත් දෙදෙනෙකුට සවන්දෙන තත්ත්වයට පත්වුහ. කෙනෙකුට සවන් දිමේ වැදගත් කම මෝසෙස් සහ එළියා කතා කළ විධියෙන්ද පෙනුනි. මොසෙස් කතා කරන විට එලියා කට පියාගෙන සිටියේය. ඔවුන්ද කතා කළේ උන්වහන්සේට දෙදෙනාටම සවන් දිමට පුලුවන්වන විධියටය. එනම් තාබෝර් කන්දේ හතර පස් දෙනෙක් සිටියද ඒ හැමෝම කතා කිරිමට ඇවිත් තිබුණද ඔවුන් හැමොම වැඩියෙන්ම කළේ කතා කිරිමටත් වඩා සවන්දිමය. මේ සිදුවන කිසිත් නොදත් පේදුරු වාචාල කමට කෑ ගැසුවේය. ඔහුට දෙවියන්වහන්සේ තදින්ම තරවටු කළේය."මොහුට සවන් දෙන්නැයි" දෙවියන්වහන්සේ පේදුරුට කියන විට ජේසු සමිදුන් ද සිටියේ කතා කරකර නොව වෙන කෙනෙකුට සවන්දෙමින්ය. සවන්දෙන පුතාට සවන්දෙන්නැයි දෙවියන්වහන්සේ කීවේ සවන්දෙන කෙනෙකුගෙන් කතාකරන කෙනෙකුගෙන් ඉගෙන ගන්නා දේවල්වලටත් වඩා වැඩි දේවල් ඉගෙන ගැනීමට ඇති නිසායි.
අප තුන්හතර දෙනෙක් එකතුවන තැන්වල සිදුවන්නේ තාබෝර් කන්දේ සිදුවු දේවල්වලට හාත්පසින්ම වෙනස් දේවල්ය. දෙවියන්වහන්සේ කතා කරන විට වෙන කිසිකෙනෙකුට කතා නොකළ හැකි තත්ත්වයක් කන්දේ උද්ගත වූයේ නැත. ඒ වෙනුවටඅප දුටුවේ උන්වහන්සේ අනිත් අයට කතා කරන්නට ඉඩදෙන තත්ත්වයකි. වෙන කාටවත්කතා කරන්නට ඉඩනොදි තමා පමණක් කතා කළයුතු යැයි සිතන අය පාර්ලිමේන්තුවේ පමණක් නොව අපේ ගෙවල්වලද සිටිති.