Sunday, January 12, 2014

ඔබේ ගෙදරත් ජෝර්දාන් ගඟක්ද?


ජේසු සමිදානන්ගේ ස්නාපන මංගල්‍යය - ජනවාරි 12 ඉරිදා 2014 - ( මතෙව් 3 : 13 - 17 )




ස්නාවක ජුවාම් තුමා ජොර්දාන් ගඟ අද්දර දුන් බෞතිස්මය අද අප ලබන ප‍්‍රසාද ස්නාපනයට සමාන කළ නොහැකි වුවද ජුවාම් තුමාගේ ස්නාපනයේදීද පව්කමාව පිළිබඳ අදහස ඉතා ගැඹුරින් අවධාරණය කෙරිණි. තම පව්වලට පසුතැවී ජනතාව ලබා ගනිමින් තිබුණු මේ ස්නානය ජේසු සමිඳුන්ද ඉල්ලන්නට අද උන්වහන්සේද ගඟට බැස්සාහ. තමනගෙන් බෞතිස්ම ස්නානය ඉල්ලමින් එන ජේසු සමිඳුන් දැක ජුවාම් තුමාට ලජ්ජා සිතුණේය. මුළු මහත් ජනතාවක් ඟඟේ ගිල්වමින් ස්නානය කළ ස්නාවක ජුවාම්ද ඒ වන විටත් ස්නානය ලබා තිබුණේ නැත. 



ජේසු සමිඳුන් ඔහු අතින් ස්නානය ලැබීමට ඒමෙන් ඔහුට ලැජ්ජා සිතුණේ එබැවිනි. ‘‘මාව ස්නානය කරන්නැ’’යි ඔහු ජේසු සමිඳුන්ට කියයි. ‘‘නෑ ඔබ මාව ස්නානය කරන්නැ’’යි ජේසු සමිඳුන් ඔහුට පෙරැත්ත කරයි. ගඟ මැද ඔවුන් දෙදෙනා එකිනෙකාව ස්නානය කරන්නැයි අනෙකාට කියමින් වාද කරන විට දෙදෙනාගෙන් එක්කෙනෙක්වත් ඒ වන විටත් ස්නානය ලබා නොතිබුණු බව ජනතාව දැන ගත්තේය. ඔවුන්ට වහා වහා මනස්ථාපනය වී ස්නාපනය ලබන්නැයි කියන විට ජනතාව සිතුවේ සියල්ලන්ටම කලින් ස්නාපනය ලබා තිබුණේ ස්නාවක ජුවාම් කියාය. සියල්ලන්ට කලින් නොව සියල්ලන්ටම පසුවටත් ස්නාපනය ලැබීමේ අදහසක් ස්නාවක ජුවාම්ට තිබුණේ නැත. එවැනි අවශ්‍යතාවයක් ඔහුටද දැනෙන්නේ ජේසු සමිඳුන් ගඟට බැස්සාට පසුවය. ජේසු සමිඳුන්ට තම ස්නාපනයේ අවශ්‍යතාවය දැනීමෙන් ඔහුටද ඔහුගේ ස්නාපනයේ වටිනාකම දැනණි. ඔහුට එම ස්නානය ලැබීමට සිතුණි. ජේසු සමිඳුන් ගඟට බැස්සේ කිසි කෙනෙකුට පාඩමක් උගන්වන්නට සිතාගෙන නොවේ. නමුත් උන්වහන්සේගේ කි‍්‍රයා කලාපයෙන් එතැන සිටි හැමෝටම අලූත් දෙයක් ඉගෙන ගන්නට ලැබණි. ස්නාවක ජුවාම් තුමාටද තමන් කර කර සිටි කි‍්‍රයාවේ බරපතලකම දැනුණි. ජනතාවට මේ පව් කමාවේ බෞතිස්මයට පෙළඹවුවද ඔහු පවා එහි එතරම් ලොකු වටිනාකමක් දුටුවේ නැත. තමාද අන් හැමෝටම කලින් එම බෞතිස්වය ලබා සිටිය යුතු යැයිද සිතුවේ නැත. සිතුවා නම් එසේ කිරීමට ඔහුට  ඕනෑ තරම් අවස්ථාව තිබුණි.




අද බොහෝ ජන නායකයන් කරන දේවල් ජනතාවට එතරම් බල නොපාන්නේ නායකයන්ටද ඔවුන් කරන දේ ගැන ලොකු පැහැදීමක් නැති නිසා යැයි සිතේ. අනෙක් අයගේ සුබ සිද්ධිය පතා කරන දේවල් ගැන මුලින්ම පැහැදී සිටිය යුත්තේ එය කරන්නට යන අයය. ඔවුන් තමන් කරන දේහි එතරම් වටිනාකමක් නොදකී නම් අනිත් අයට ඉන් අත්වන සුබ සෙත ගැන සහතික වීම බොරු වැඩකි. අද ප‍්‍රසිද්ධියේ කෙරෙන බොහෝ හොඳ වැඩ බොරු වැඩ යයි ජනතාවටම හිතෙයි. ඊට හේතුව ඔවුන්ගේ අත්දැකීමය. ජනතාව පව් කරන අය වුවද ඔවුන්ගේ හැම වැඩයම පව්කාර නොවේ. තමන් කරන කියන දේවල් සේම තම නායකයන් කරන කියන දේවල්ද ගැන ජනතාවට කල්පනා වෙයි. අන්තීමට පව් කර ඇත්තේ තමන් පමණක්ම නොවන බව පව් කිරීම නැවැත්වූ පසු ඔවුන්ටද දැනේ. තමන්ව යහමඟට යොමු කරන අය කරන නරක වැඩ ඔවුන්ගේද කනට වැටෙයි. තම නායකයන් ගැන ඔවුන්ගේ හිත කලකිරෙයි. මෙවැනි තත්ත්වයක් ජෝර්දාන් ගෙඟ්ද ඇතිවීමට තිබුණු ඉඩ කඩ අද ජේසු සමිදුන් නිසා ඇහිරී ගියේය. තමන්ද වතුරට බැසීමෙන් වතුරට බැසි සියල්ලන්ට ජේසු සමිදුන් අලූත් තේරුමක් දුන්නේය. 




තමන් කළ කාර්යයේද සැබෑ වටිනාකම ස්නාවක ජුවාම්ටද දැනෙන්නට හැරියේය. තම ජනතාවද තමන්ද එක් කෙනෙක් බව ජේසු සමිදුන්ට ගඟට බසින්නටත් පෙර දැනණි. ජනතාව වෙනුවෙන් පෙනී සිටීමට පමණක් නොව ඔවුන් හැමෝවම හිතේ දරාගෙන යෑමට නායකයකුට හැකි බව ජේසු සමිදුන් දැන ගෙන සිටියේය. ගඟට බැස්සාට පසු ගඟට බසින්නට පෙර තමන්ට සිතුනු හැමදේම හරියටම හරි බව උන්වහන්සේට දැනුණි. එය උන්වහන්සේට පමණක් නොව ගෙඟන් එගොඩ සිටි අයටද දැනුණි. ඒ තරමට කෙනෙකුට මහ ජනතාවක් නියෝජනය කළ හැකි බව ජේසු සමිඳුන්ගේ හිතට දැනුණි.කවදාහරි හැමෝගෙම පව් තම කරට ගෙන තමා තනියම අනිත් හැමෝම උදෙසා දුක් විඳින බව ජේසු සමිඳුන් ගඟ යටදී හිතට ගත්තේය. ඒ අධිෂ්ඨානය දෙවියන් වහන්සේට ඇසී උන්වහන්සේටද මහ හයියෙන් කෑ ගැසුණේය. ‘මගේ රත්තරං පුතේ’ කියා දෙවියන්වහන්සේට කෑ ගැසෙන විට එතන සිටි හැමෝටම එය ඇසුණි. හැමෝම පි‍්‍රයාදර පුතෙක් බව දැනුණි. එක්කෙනෙක් හරියටම දෙවියන්වහන්සේගේ කෙනෙක් වන විට හැමෝටම මොකක්දෝ දෙයක් වෙයි.




‘දෙවියන්වහන්සේ දෙවියන්වහන්සේ’ යැයි කී පමණින් කාටවත් මුකුත් නොවෙයි. උන්වහන්සේගේ වීමෙන් සහ එසේ වීමට දිගින් දිගටම උත්සාහ කිරීමෙන් ජොර්දාන් ගෙඟ් අද සිදු වු දේවල් අපේ ගෙදරද සිදුවීමට පටන් ගනී. නැත්නම් අපේ ගෙවල් දොරවල්ද ජේසු සමිඳුන් බැසීමට පෙර ගැලූ ජොර්දාන් ගඟ වගේ තමයි.

දේව වචනය බෙදා ගන්නා ගරු පියතුමන්ලාගේ සාකච්ඡාව ඇසුරිණි.
ගරු රුවන් සඳසිරි පියතුමා. 

ලිපි පළකිරිම - රංජන් ද මැල්

( අන්තර්ජාලිය සයිබ අවකාශය තුලත්, දේව වචනය මාංශගතකිරිමකි)




No comments:

Post a Comment