ගොබ් ඉරිදා - අප්‍රේල් 13, මතෙව් 26:14-27
ඔවුන්ගේ හිතට ආවේ ‘ඒ මමද ඒ මමද’ කියා පමණකි.
එය ඔවුන්ට බලපෑවේ වෙන කාගේවත් නොව තමන්ගේම පෞද්ගලික ප්‍රශ්නයක් ලෙසය. ඒ තරමට දුර්වලකම කාටවුවද දැනී තිබුනි. ඊ ලඟට දුර්වලයා වන්නේ තමා දැයි හැමෝටම බය සිතුනි ඒ හැන්දෑවේ ජුදස් වීමට කාට වුවද පුළුවන්කම තිබුනි. එහෙත් ජුදස් වීමට කව්රුත් කැමැත්තෙන් සිටියේ නැත. අවසානයේදි ජුදාස් වූයේ ඔවුන් හීනෙන්වත් නොසිතූ කෙනෙකි. එ ජේසු සමිදුන් දුන් හෝඩුවා ඔවුන්ට නොතේරුණේ එබැවිනි. ජුදස්ට ජුදස් නොවී සිටීමට ඕනෑ තරම් ඉඩ තිබුණි. නායක පූජකයන් සමග කර තිබු ඔහුගේ කුමන්ත්‍රණයටත් වඩා ජුදස්ගේ වැටීමට හේතුව රාත්‍රි භෝජන මේසයෙන් නැගිට යෑමය. ජුදස්ට කෑම මේසයෙන් නැගිටින්නේ නැතිව ඉන්නට තිබුණි. ඔහු තව ටිකක් වේලා එහි සිටියා නම් ජේසු සමිඳුන්ගේ එක වචනයකින් ඔහු තුළ තිබූ පරික්ෂාව පහවන්නට ඉඩ තිබුණි. බොහෝ ලොකු දේවල් කර තිබු ජුදස්ට ඒ පොඩිදේ කර ගැනීමට බැරි විය.
ඊට හේතුව ඔහුට ඔහුවම පාලනය කර ගත නොහැකි තත්ත්වයකට සාතන් ඔහුව ඇද දමා තිබීමය. ජුදස්, ශ්‍රාවකයන්ව ජේසු සමිඳුන් ගෙයින් ගෙටයෑමට පිටත්කර යැවූකාලයේ යක්ෂයන් ආවේශවූ අයව ද සුව කළ කෙනෙකි. එහෙත් ඔහුට ඔහුගේ ඇඟ ඇතුලට ගිය යක්ෂයාව දුරුකර ගැනීමට බැරි විය. අපමණ යකුන් දුරුකර තිබුණු ජේසු සමිඳුන්ටත් එ ජුදස්ට ආවේශවී සිටි යක්ෂයා දුරු කර ගැනීමට බැරි විය. කෙසේ හෝ සාතන්ගේ උගුලට ජුදස්ව බිලිවන්නේ ඔහු උන්වහන්සේගෙන් ඈත්වීම නිසා බව පැහැදිළිය. සාතන්ට බිලිවීමට වැඩි වෙලාවක් යන්නේ නැත. ජුදස්ද මුල සිටම සාතන්ට හසුවුණු කෙනෙක් නොවේ. ඔහුද අන්තිම මොහොතේ යකාට නතුවුණු අයෙකි.
පරික්ෂා ජුදස්ට පමණක් නොව අපටද එයි. ඒවාට නොවැටී සිටීමට හැකි එකම විධිය ස්වාමින් වහන්සේ සමඟ සිටීමය. උන්වහන්සේ කියන විධියට අවධියෙන් සිටීමට සැම විටම අපටද නොහැකිය ?
ගරු රුවන්
සඳසිරි පියතුමා අතුළු, පියතුමන්ලාගෙ සාකච්චාව ඈසුරෙනි.
ලිපි
පළකිරිම - රංජන් ද මැල්
(අන්තර්ජාලිය
සයිබ අවකාශය තුලත්, දේව වචනය මාංශගතකිරිමේ වෑයමකි.)